'රැඟුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය නැහැ'

රැඟුම් පාලක මණ්ඩලය 'ඉතිහාසයේ සිදු වූ වරදක්'
ශ්‍රී ලංකාවට රැඟුම් පාලක මණ්ඩලයක් අවශ්‍ය නැති බවත් කලා කෘතියකට අණ පනත් පැනවිය නොහැකි බවත් ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර පැවසීය.
'කලාව කියන්නේ එහි නීති රීති කලාව විසින් ම උල්ලංඝනය කරමින්, සංශෝධනය කරමින් වෙනස් කරමින් යන බලවත් මානවීය මැදිහත් වීමක්. එහිදී කලා කරුවාට පමණයි පුළුවන් කිසියම් ආකාරයකින් වෙනස් කරනවාද නැද්ද කියල තීරණ ගන්න. එම තීරණයන් රඳා පවතින්නේ එක පැත්තකින් කලාත්මක අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අනෙක් පැත්තෙන් පවතින මොහොත මත තමා සතු සමාජීය වගකීම තේරුම් ගැනීම මත.'
ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
කලා කෘතියකට වාරණ පැනවීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර
'කලා කෘතියකට අණ පනත් පනවන්න බැහැ. නමුත් සමාජය හෝ කලාකරුවන් විසින් එක්තරා විදිහක ප්‍රමිතීන් යෝජනා කළ හැකියි. ඒ නිසා තමයි රැඟුම් පාලක මණ්ඩලය පවා තිබිය යුතුද නැද්ද කියල ප්‍රශ්නයක් තියෙන්නේ.' ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රකාශ කළේය.
රැඟුම් පාලක මණ්ඩලයක් ඇති වීම 'ඉතිහාසයේ සිදු වූ වරදක්' ලෙසටයි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා දකින්නේ.
'අතීතයේ දී විවිධ දේශපාලනඥයන් තමන්ට කලා කරුවන්ගෙන් එල්ල වන විවේචන පාලනය කරන්න තමයි රැඟුම් පාලක මණ්ඩලය භාවිතා කරලා තිබුනේ. දැන් මුළු ලෝකයම පිළිඅරගෙන ඉවරයි ඒක අවශ්‍ය නැහැ කියල.' ඔහු පැවසීය.
ආදරණීය කතාවක් සිනමා නිර්මාණය පිළිබඳව පසුගියදා අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දුම් වැටියක් උරණ හෝ මත්පැන් පානය කරන දර්ශනයක් කලා කෘතියක තිබීම මගින් ඊට ඇබ්බැහි වීම වැඩි වන බවට පවතින මතය යල් පැන ගිය එකක් බවයි.
කලාව වාරණය කිරීමට වඩා කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පාලකයන් වැඩි අවධානය යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ.