ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද දෙන්නේ නෑ - අමරවීර

Image caption රජය යම් තීන්දුවක් ගන්නේ නම් රටේ ධීවර සමිති සමග සාකච්ඡා කොට මිස රජය තනි තීරණයක් නොගන්නා බව අමාත්‍යවරයා පවසයි

ඉන්දීය ධීවරයින්ට ට්‍රෝලර් යාත්‍රා උපයෝගී කරගෙන උතුරු මුහුදු සීමාව තුළ මසුන් මැරීමට කවර අන්දමක හෝ අවසරයක් ලබා දීමට රජය සූදානම් නැතැයි ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය රජය හා ඉන්දීය ධීවර සමිති කිහිපයක් විසින් වසරකට දින හැත්තෑපහක කාලයක් උතුරු මුහුදු සීමාවේ මසුන් මැරීමට අවසර ලබාදෙන මෙන් ශ්‍රී ලංකා රජයෙන් කර ඇති ඉල්ලීමට යම් අනුකූලතාවක් දැක්වීමට රජය සූදානම් වන්නේ යැයි කියමින් උතුරේ ධීවර සමිති විසින් ගෙන යන උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව තොරතුරු විමසූ අවස්ථාවේදීයි

එසේවුවත් උතුරේ ධීවර සමිති නායකයින් පෙන්වා දෙන්නේ තමන්ට මේ පිළිබදව විශාල සැකයක් පවතින බවයි.

එහෙයින් තම විරෝධතා ව්‍යාපාර නතර නොකරණ බවද ඔවුහු කියා සිටිති.

ඉන්දීය රජය විසින් දින හැත්තෑපහක කාලයකට උතුරු මුහුදේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයින්ට අවසර ලබාදෙන මෙන් ඉල්ලීමක් කොට ඇති බව සත්‍ය නමුත් එවැනි අවසරයක් ලබාදීමට රජය කිසි විටකත් සූදානම් නැතැයිද කියා සිටියේය.

වසර තිහක් තිස්සේ ඉන්දීය ධීවරයින් විසින් අනවසරයෙන් කරගෙන යන මෙම මසුන් මැරීමේ ක්‍රියාවලියට දින 120 ක කාලයක් ලබා දෙන මෙන් මුලින් ඉල්ලා සිටි බවත් අනතුරුව එය දින 83 ක් දක්වා අඩු කොට දැන් එය දින හැත්තෑපහක් දක්වා යළි අඩු කොට ඇති බවත් මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් රජය යම් තීන්දුවක් ගන්නේ නම් රටේ ධීවර සමිති සමග සාකච්ඡා කොට මිස රජය තනි තීරණයක් නොගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

වසර ගණනාවක්ම මේ ප්‍රශ්ණය විසඳා ගැනීමට රාජ්ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කළ ද ඊට නිශ්චිත විසඳුමක් නොලැබුණේ ඉන්දීය පාර්ශ්වයේ ඉහල ධීවර අයිතියක් ඇත්තේ එරට දේශපාලනඥයින්ට වීමත් ඔවුන් මෙම සාකච්ඡා සඳහා සහභාගි නොවීමත් නිසා යැයිද අමාත්‍යවරයා පැවසීය.

නමුත් ශ්‍රී ලංකාවේ ධීවර සංගම්වලට තවදුරටත් සාකච්ඡා අවශ්‍ය වන්නේ නම් ධීවර සාකච්ඡා ඉදිරියටත් කරගෙන යාමට රජය සූදානම් යැයිද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බීබීසී යෙන්