මූලික නීතියට කාගේත් සහයෝගය අවශ්‍යයි- සම්බන්ධන්

Image caption TNA සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අලුතින් කෙටුම්පත් කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දකුණේ දේශපාලන බලවේග පමණක් පිළිගන්නා මූලික නීතියක් නොව රටේ සියළු ජන කොටස් එකඟ වෙන එකක් විය යුතු යයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි .

විපක්ෂ නායකයා එම ප්‍රකාශය කළේ අද(15) වවුනියාවේ පැවැත්වුන දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අවධානය යොමු කළ බව කියා සිටි විපක්ෂ නායක ආර්, සම්බන්ධන් තමන් ඒ වෙනුවෙන් මුලින් රජයට ඉදිරිපත් කරණ ලද යෝජනාවලියේ කිසිදු වෙනසක් නොමැති බවයි සඳහන් කළේ.

උතුරු නැගෙනහිර

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ දී උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට දෙමළ ජනතාව විසින් පිළිගනු ලබන ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් පාලන ව්‍යුහයක් දෙමළ ජාතික සන්ධානය විසින් මීට පෙර රජයට යෝජනා කරනු ලැබ තිබුණි.

එම යෝජනවළිය උතුරු පළාත් සභාව විසින් ද සම්මත කර තිබුණි.

Image caption විපක්ෂ නායක ආර්.සම්බන්ධන්

නව ව්‍යවස්ථාවකට අමතරව නව මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් වවුනියා හමුවේදී සාකච්ඡා වූ බවයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසන්නේ.

නැවත හමුවක්

අද වව්නියාවේ දී ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන ප්‍රජාවට අදාළ බොහෝ කරුණු සාකච්ඡාවට භාජනය කෙරුණ අතර ඉදිරි සති දෙක ඇතුළත දෙමළ ජාතික සන්ධානය එම කරුණු පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට තීරණය කළ බවත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර