නාමල් වෙනුවෙන් හම්බන්තොට ජනතාව පාරට

Image caption ආණ්ඩුව ගෙනයන මෙම දේශපාලන දඩයම නවත්වන ලෙසද උද්ඝෝෂකයෝ වර්තමාන ආණ්ඩුවට බල කර සිටියහ

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් අද(17) දින පෙරවරුවේ තංගල්ල නගරයේදී හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව විසින් විරෝධතාවයක් පවත්වනු ලැබිණි.

ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධානය කර තිබූ මෙම විරෝධතා රැළිය සඳහා දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කිහිපයක ස්වාමීන් වහන්සේලා හා පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ.

Image caption මේ හේතුවෙන් ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල වූ අතර තංගල්ල පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත නැවතත් ගමනා ගමන කටයුතු නිසි ලෙස සිදුකිරීමට අවස්ථාව සළසා දෙනු ලැබීය.

තංගල්ල කාල්ටන් නිවස අසළින් ආරම්භ කරන ලද විරෝධතා රැළිය කළු කොඩි ඔසවාගෙන ,විරෝධතා පුවරුද රැගෙන තංගල්ල බස් නැවතුම්පොළ තෙක් පා ගමනින් පැමිණ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැයකට පමණ ආසන්න කාලයක් සටන් පාට කියමින් විරෝධතාවයේ නියැළුණි.

මේ හේතුවෙන් ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල වූ අතර තංගල්ල පොලීසියේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත නැවතත් ගමනා ගමන කටයුතු නිසි ලෙස සිදුකිරීමට අවස්ථාව සළසා දෙනු ලැබීය.

උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් පවසා සිටියේ වර්තමාන යහ පාලන ආණ්ඩුව තම පටු දේශපාලන අදහස් ඉටු කර ගැනීමට රාජපක්ෂවරු සහ ඒකාබද්ද විපක්ෂයේ ජන නායකයින්ද මෙලෙස හිරේ විලංගුවේ දමමින් සිටින බවයි.

Image caption විරෝධතාකරුවෝ තංගල්ල බස් නැවතුම්පොළ තෙක් පා ගමනින් පැමිණ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැයකට පමණ ආසන්න කාලයක් සටන් පාට කියමින් විරෝධතාවයේ නියැලුණහ.

'' ඒකාබද්ද විපක්ෂයේ සියලු දෙනාම සිරගත කලත් ජනතාව වෙනුවෙන් අපි අපේ ගමන යනවා අද මුළු හම්බන්තොටම ජනතාව නාමල් රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි කියලා ඔප්පු කරලා තියෙනවා ඒ වගේම අපේ පක්ෂය වෙනුවෙන් ඇමතිකම් අතහැරලා මහින්ද මහත්තයත් එක්ක එකතුවෙන්න වෙන්න හරි කැමතියි" යනුවෙන් විරෝධතාවයට එක්ව සිටි පාරිලිමේන්තු මන්ත්‍රී ඩි.වී චානක කියා සිටියේය.

එමෙන්ම ආණ්ඩුව ගෙනයන මෙම දේශපාලන දඩයම නවත්වන ලෙසද උද්ඝෝෂකයින් වර්තමාන ආණ්ඩුවට කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර