නොරොච්චෝලේ හරිත විනාශය

නොරොච්චෝලේ හරිත විනාශය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැට‍ළු මතු වී ඇති බව ඒ අවට වෙසෙන ජනතාව පවසති.

ගල් අඟුරු දුහුවිලි සුළඟට මුසු වීම හේතුවෙන් තමාට ශ්වසන රෝගවලට මුහුණ දීමට සිදු වී ඇති බව නොරොච්චෝලේ වැසියෝ කියා සිටිති.

දුහුවිල්ලට අමතරව ගල් අඟුරු දහනය නිසා හට ගන්නා දුමාරයත් සමග මුසු වන අළු හේතුවෙන් පාරිසරික ගැට‍ළු මතු වී ඇති බවටත් ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති.

ගල් අඟුරු දුහුවිල්ල හේතුවෙන් අවට ප්‍රදේශයේ වගා බිම්වල එළවලු කළු පැහැ ගැන්වී ඇති ආකාරය තමාට දැක ගත හැකි වූ බවයි සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න වාර්තා කළේ.

'කොල පාට බණ්ඩක්කා කළු පාට වෙලා. කොල පාට එළවලු කළු පාට වී තිබෙන ආකාරය මට දැක ගත හැකි වුනා'

ඒ පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් පැමිණ වීඩියෝ දර්ශන පටි ගත කර ගත් නමුත් ඉන් අනතුරුව කිසිවක් අසන්නට නොලැබුණු බවත් ප්‍රදේශවාසීහු පවසති.

අධික දුහුවිල්ල නිසා සිය දරුවන්ගේ පාසල් නිල ඇඳුම් පවා දුර්වර්ණ වී ඇති බවට දෙමව්පියෝ මැසිවිලි නගති.

නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී එක් වරක් වන්දි ලබා දුන් නමුත් මේ වන විට සිදු වෙමින් පවතින පාරිසරික හානිය වන්දියකට සීමා කිරීමට නොහැකි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තාවකාලිකව වන්දි ලබා නොදී සිය ගැටලුව සඳහා විකල්ප විසඳුමක් ලබා දෙන ලෙස නොරොච්චෝලේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.