අතුරුදහන් වූ දකුණේ ධීවරයන් ගැන 'සත්‍යය දැනගැනීමේ අපේක්ෂාවක්'

අතුරුදහන් වූ දකුණේ ධීවරයන් ගැන 'සත්‍ය දැන ගැනීමේ අපේක්ෂාවක්' Image copyright Getty Images

එල්ටීටීඊය විසින් පැහැර ගත් බව පැවසෙන දකුණු පළාතේ ධීවරයන් සම්බන්ධයෙන් සත්‍යය දැන ගැනීම ඔවුන්ගේ ඥාතීන්ගේ අපේක්ෂාව බව සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.

සංහිඳියා යන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ දකුණු පළාත් කලාපීය කාර්ය සාධක බලකාය ඉරිදා දෙවිනුවරදී රැස් විය.

යුද සමය තුළ ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේදී අතුරුදහන් වූ දකුණේ ධීවරයන්ගේ ඥාතීන් ඒ ඉදිරියේ සිය අදහස් දැක්වූ බවයි දකුණු කලාපීය කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් බීබීසී සංදේශයට කියා සිටියේ.

"මොවුන් එල්ටීටීඊය විසින් පැහැර ගත් බව රජය කියනවා. නමුත් ඇත්තටම මොකක්ද සිදු වුනේ කියන කාරණය දැන ගැනීමට ඔවුන් කැමතියි," ඔහු පැවසීය.

"සත්‍යය දැන ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔවුන් ප්‍රකාශ කළා."

යුක්තිය

සිය ඥාතීන් වෙනුවෙන් යුක්තිය ඉටු කර ගනු වස් අතුරුදහන් වූ ධීවරයන්ගේ භාර්යාවන් සහ ඥාතීන් දකුණු පළාත් කලාපීය කාර්ය සාධක බලකාය හමුවට පැමිණි බවයි එහි සභාපතිවරයා කියා සිටියේ.

"ඒ අතරින් සමහරෙකුට මරණ සහතික ලබා දී නැහැ. ඇතැම් අයට වන්දි ලබා දී තිබෙනවා. නමුත් ඇතැම් අයට වන්දි ලබා දී නැහැ." (සංදේශයට සවන්දෙන්න)

ඥාතීන් සතු සාක්ෂිවලට අනුව ගතව ගිය දශක කිහිපය ඇතුලත දකුණු පළාතේ එකසිය හතළිහකට අධික ධීවරයන් පිරිසක් අතුරුදහන් වී ඇති බවයි ඔහු පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ පිබිදීම සහ යුද සමයේ අතුරුදහන් වූ පිරිස්වල ඥාතීන් විවිධ අවස්ථාවල මහජන කමිටු ඉදිරියේ සිය අදහස් පළ කළත් අතුරුදහන් වූ ධීවරයන්ගේ පවුල් මහජන කමිටුවක් ඉදිරියේ සිය අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය බවත් ඔහු සඳහන් කළේය.

භීෂණ සමයේ

1983 සහ 1989 භීෂණ සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ගෙන් සෙනසුරාදා අදහස් විමසූ බවත් දකුණු කලාපීය කාර්ය සාධක බලකායේ සභාපති වසන්ත කාරියවසම් පැවසීය.

යුද්ධය හේතුවෙන් මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අතුරුදහන් වූ සහ ආබාධිත තත්වයට පත් වූ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් අදහස් විමසීම සඳහා පිළිවෙලින් ජුලි 28 වැනි දින සහ 31 වැනි දින මහජන හමු පැවැත්වීමට නියමිත බවත් ඔහු කියා සිටියේය.

පොදුවේ මහජන අදහස් විමසීම සඳහා දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුන තුළ අගෝස්තු මාසයේ මහජන රැස්වීම් තුනක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් කලාපීය කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර