'මට තවමත් බයයි' - නීස් නගරයේ ශ්‍රී ලාංකික කාන්තාවක්

Forensic team examining the lorry cab Image copyright AP
Image caption ප්‍රංශයේ නීස් නගරයයේ වැසියන් මතට සිය රිය ධාවනය කළ පුද්ගලයා ඒ සඳහා පෙර සූදානම් වී ඇති බවත් ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් තමන් ඇතුළු නගරවාසීන් තවමත් තැති ගැන්වී සිටින බව එහි වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් පවසයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රංශ නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවති ගිනිකෙලි සංදර්ශනයක් අතරතුර එල්ල වූ ප්‍රහාරයත් සමග නගරයේ ආරක්ෂාව තර කොට ඇති බවත් නීස් නගරයේ වාසය කරන සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි සංදේශයට කියා සිටියාය. (සාකච්ඡාවට සවන්දෙන්න)

"වෙනදට වඩා මුහුදේත් ගොඩක් වෙලාවට මිලිටරි බෝට්ටු එහෙම යනවා."

සංදර්ශනය නැරඹීමට පැමිණි සිටි පිරිස් මතින් සිය ට්‍රක් රථය ධාවනය කළ මොහොමඩ් මොහමඩ් ලහුවේජ් බුහ්ලල් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වූ අතර ට්‍රක් රථයට යට වීම හේතුවෙන් මරුමුවට පත් පිරිස අසූවකට අධිකයි.

ප්‍රහාරයට ලක් වූ නිදහස් දින උත්සවයට සජීවනී ප්‍රියන්තිට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ අසනීප තත්වයක් හේතුවෙනි.

"දැන් පාරේ වාහනයක් යන කොටත් හිත ගැස්සෙනවා," ඇය සඳහන් කළාය.

'ප්‍රහාරයට පෙර සූදානමක්'

මේ අතර ට්‍රක් රථයේ ගැටී තුවාල ලැබූවන් අතුරින් දහඅට දෙනකුගේ තත්වය බරපතළ බව ප්‍රංශ සෞඛ්‍ය බලධාරීහු පවසති.

අසාධ්‍ය තත්වයේ පසු වන පිරිස අතර ළමයෙකුද සිටියි.

ප්‍රහාරයෙන් අනතුරුව අතුරුදහන්ව සිටි ඇතැමුන් තවමත් හමු වී නැති බවත් ඇය සඳහන් කළාය. (ප්‍රහාරයෙන් පසු දින නගරයේ තත්වය විස්තර කරන සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි)

"පැය 36 ක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු කිලියාන් කියන දරුවාගේ මළ සිරුරු ඊයේ තමයි තාත්තට හමුවෙලා තියෙන්නේ."

තුන්සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් අසූ පස් දෙනෙකු තවමත් රෝහල් ගතව සිටින බවයි ප්‍රංශ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ.

මිය ගොස් සිටින පිරිසෙන් දාසය දෙනකුගේ මළ සිරුරු තවමත් හඳුනා ගෙන නැති බවත් නීස් නුවර බලධාරීහු පවසති.

අඟහරුවාදා සහ බදාදා යන දෙදින තුළ ප්‍රහාරයට ලක් වූ මාර්ගයේ සිය රිය ධාවනය කරමින් මොහමඩ් ලහුවේජ් බුහ්ලල් නමැති පුද්ගලයා ප්‍රහාරයට සුදානම් වී ඇති බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර