වන අලි රංචු හලාවත නගරය දෙසට

වන අලි රංචු හලාවත නගරය දෙසට

පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන කීපයකට පමණක් සීමා වී තිබූ වන අලි උවදුර හලාවත නගරය දෙසට විහිද ඇති සෙසු ගම්මාන දෙසට ව්‍යාප්ත වෙමින් තිබෙන බව බරනංකට්ටුවේ වැසියෝ පවසති.

මෑතක සිට මුහුණ දීමට සිදු වී ඇති වන අලි උවදුර හේතුවෙන් තමන් දැඩි පීඩාවකට පත් වී සිටින බවයි ඔවුන් පවසන්නේ.

වන අලි ගම් වැදීම හේතුවෙන් මුන්දලම ප්‍රදේශයේ වගා ඉඩම් රැසකට දැඩි හානි සිදු වී ඇති බව බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න වාර්තා කළේය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම්.කේ. චන්ද්‍රරත්න කියා සිටියේ පසුගියදා ඇති වූ ගංවතුරේදී අලි වැට වලට හානි සිදුවීම හේතුවෙන් වන අලි ගම්මාන පසු කර නගරය දෙසට ගමන් කරන බවයි.

මේ අතර පුත්තලම වනජීවී කලාපයේ කරුවලගස්වැව හා වනාතවිල්ලුව ප්‍රදේශවල මිය ගිය අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳුදා සිදු කිරීමට නියමිත බවත් සඳහන් කළේය.

තවත් වන අලියෙක් එල්ල කරන ලද ප්‍රහාරයක් වනාතවිල්ලුව අලියාගේ මරණයට හේතු වී ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.