යාපනය විශ්ව විද්‍යාලය යළි විවෘත කෙරේ

Image copyright University of Jaffna
Image caption යළි මෙවැනි සිදුවීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන බවට සියලු පාර්ශ්වයන් වගකීම් භාරගත් බව ශිෂ්‍යයෝ පවසති

යාපනය විශ්ව විද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු බදාදා සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කරන ලද බව බලධාරීහු පවසති.

අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩීඑම් ස්වාමිනාදන් අමාත්‍යවරුන් සහ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ උපකුලපතිනි වසන්ති අර්සරත්නම් සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග කළ විශේෂ සාකච්ඡාවකින් පසුව එම තීරණයට එළැඹි බව උපකුලපතිනිය සඳහන් කළාය.

සති අන්තයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර හටගත් ගැටුමකින් අනතුරුව යාපනය විශ්ව විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය සහ යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ වවුනියාව හා කිළිනොච්චි මණ්ඩප දින නියමයකින් තොරව වසා දැමීමට තීරණය කෙරිණ.

විනය පරීක්ෂණයක්

ලබන 20 සහ 21 දිනවලදී සිසුන්ගේ විභාග පැවැත්වෙන බැවින් විශ්ව විද්‍යාලය විවෘත කිරීමට සියලු දෙනාම එකඟ වූ බව සාකච්ඡාවලින් අනතුරුව අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ගැටුම පිළිබඳව සියලු දෙනාම මේ වනවිට කණගාටු වන බවත් යළි මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගන්නා බවට ශිෂ්‍ය සංගම් සහතික වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

Image copyright University of Jaffna
Image caption ගැටුමෙන් දේශපාලන වාසි ලබාගැනීමට 'ජාතිවාදීන් උත්සාහ කළා'

මෙවැනි අවස්ථාවක සෑම විශ්ව විද්‍යාලයක් තුලම සිදු වන ආකාරයට යාපනය විශ්ව විද්‍යාලයේද ගැටුම පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවයි, කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් අතර සිංහල, දෙමළ වශයෙන් කිසි දිනෙක ප්‍රශ්නයක් නොතිබූ බව පැවසූ ඩීඑම් ස්වාමිනාදන් අමාත්‍යවරයා, සුළු සිදුවීමකින් දේශපාලන වාසි ලබාගැනීමට කිසියම් පිරිසක් උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වූ බවත් පැවසීය.

'පළිගන්නේ නෑ'

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල හා දෙමළ ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුන්ද, යළි මෙවැනි සිදුවීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන බවට සියලු පාර්ශ්වයන් වගකීම් භාරගත් බව සඳහන් කළහ.

ගැටුම පිළිබඳව කිසිම අන්දමක පළිගැනීමක නිරත නොවීමටත් සියලු දෙනාම එකඟ වූ බවත් ඔවුහු පැවසූහ.

දෙපාර්ශවයේම ජාතිවාදීන් ගැටුම සිය දේශපාලන න්‍යාය පත්‍රය සඳහා යොදා ගැනීමට උත්සාහ දරන බවට මීට ඉහතදී චෝදනා කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ලාංකීය ශිෂ්‍ය නායකත්වයද එවැනි තත්වයන් වර්ධනය වීමට ඉඩ නොදිය යුතු බව අවධාරණය කළහ.

කෙසේ නමුත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නිසි පියවර ගත යුතු බවයි, බීබීසී සංදේශය කළ විමසීමකදී යාපන විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර