යාපනේ සිසු ගැටුම: 'උතුරත් දකුණත් කැළඹිලා'

වීඩියෝ ශීර්ෂ වැකිය,

යාපනේ සිසු ගැටුම: 'උතුරත් දකුණත් කැළඹිලා'

පසුගිය දා යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වූ ගැටුම හේතුවෙන් දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවත් කැළඹීමට පත්ව ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.

මෙම තත්වය සමනය කරනවා වෙනුවට එය 'ඇවිලීමට' අන්තවාදී පාර්ශව කටයුතු කරන බවයි උතුරේ ආණ්ඩුකාරවරයා චෝදනා කළේ.

'උතුරේ මේ පුවත සමහර පත්තර හා සමාජ මාධ්‍යවල විකාශය වන්නේ සිංහල හමුදාව විසින් මෙහෙයවන ලද සිංහල සිසුන් පිරිසක් විසින් ද්‍රවිඩ සිසුන්ට පහරදීමක් කළා කියලා, අනිත් පැත්තෙන් ඒක විග්‍රහ වෙනවා තව විදිහකට, ඉතින් මේ දෙපැත්තම කැළඹිලා උතුරත් දකුණත්' ඔහු පැවසීය.

'පොලිසිය හොයනවා'

ඡායාරූප මූලාශ්‍රය, UNIVERSITY OF JAFFNA

ඡායාරූප ශීර්ෂ වැකිය,

'දැන් පොලිසිය ඒ අය හොයනවා'

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල මට්ටමෙන් සිදු වන පරීක්ෂණයට අමතරව පොලිස් පරීක්ෂණයක් ද සිදු වන බව ප්‍රකාශ කළ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මෙම සිදුවීමට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි සඳහන් කළේ.

'වැරදි කරුවන් නීතිය ඉදිරියට පැමිණ විය යුතුයි. දැනට යම් අය පස්සේ පොලිසිය යනවා. ඔවුන් වාර්තා කරලා තියෙනවා විශ්ව විද්‍යාලයට ඒ අය බාරදෙන්න කියල, ඒක කෙරිලා නැහැ. දැන් පොලිසිය ඒ අය හොයනවා'

'වසන් වෙලා'

'ඒ අය යම් යම් තැන්වල වසන් වෙලා ඇති මේ ටිකේ. නමුත් පරක්කු වුනත් නීතිය ක්‍රියාත්මක වෙයි' උතුරේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිසිය විසින් සොයා මින් සිටි යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයකු අද අධිකරණයට භාර විය.

එහිදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේ එම සිසුවා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටයි.

මෙම නඩුව ලබන 25 වැනිදා යළි කැඳවීමට නියමිතයි.