තාජුදීන් පරීක්‍ෂණ ජනාධිපති ආරක්ෂකයන් දෙසට

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්
වසීම් තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක බලකායේ සාමාජිකයින් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රහස් පොලිසිය පවසයි.
රහස් පොලිසිය මේ බව අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු විභාගය කැඳවු අවස්ථාවේදී යි.
ජනාධිපති ආරක්ෂක බලකායේ මාණ්ඩලික යුද හමුදා නිලධාරියෙකු වූ උදය නාගහවත්ත නමැත්තාගෙන් ප්‍රශ්න කර ඇති බවයි අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කියා සිටියේ.
'තවත් හතර දෙනෙක්'
ඊට අමතරව ජනාධිපති ආරක්ෂක බලකායේ තවත් සාමාජිකයින් හතර දෙනෙකු පිළිබඳව ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය වූ වකවානුවේ නාරාහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කල ඩේමියන් ප්‍රනාන්දු නමැති නිලධාරියාගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුම් පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් වැඩි දුර විමසීම ලබන 03 වනදා දක්වා කල් තැබීමට නියම කරන ලදී.
සැකකරුවන් ලෙස නම් කර තිබෙන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන අය තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියම කළේය.