නොරොච්චෝලෙයි ගල් අඟුරු විවාදය තවත් දිග්ගැසෙයි

නොරෙච්චෝලෙයි ගල් අඟුරු බලාගාරය
මත භේදයට ලක් වී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් තමා විසින් පත් කරනු ලැබ ඇති කමිටුවේ වාර්තාව මෙම ජූලි 29 වන දිනට පෙර ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අතර එම කමිටු වාර්තාව ලද පසුව අවශ්‍ය පියවර ගන්නා බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමතිවරයා එම ප්‍රකාශය කළේ නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු මිළ දී ගැනීමේදී අනුගමනය කර ඇති ටෙන්ඩර් පටිපාටිය මුල්කර ගනිමින් මතු වී පවතින විවේචන හමුවේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිළ දී ගැනීමේදී කටයුතු කර ඇති ආකාරය දීර්ඝ වශයෙන් විස්තර කළ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ 'රටට වඩාත් වාසිදායක තීරණය නොබියව ගැනීමට ක්‍රියා කරන' බවයි.
2015 ටෙන්ඩරය
2015 වසරේ ගල් අඟුරු ටෙන්ඩර් කැඳවීම ගැන අවධානය යොමු කළ ඇමතිවරයා ඒ සඳහා 2014 නොවැම්බර් මාසයේ දී ටෙන්ඩර් කැඳවූ අතර, සමාගම් අටක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් කළේ.

ඇමති සියඹලාපිටිය
'එයට පැරණි සැපයුම්කරු වූ නොබෙල් සාමගම මෙන්ම වර්තමාන දිගුකාලීන සැපයුම්කරු වන ස්විස් සිංගප්පූර් සමාගමද ඇතුලත් විය. මෙහිදී නොබෙල් සමාගමේ ලංසුව 1987 පොදු කොන්ත්‍රාත් පනත යටතේ ලියාපදිංචි වී නොතිබූ නිසා ප්‍රතික්ෂේප වී ඇති අතර, තරඟය වැඩි කර ගැනීමේ අරමුණ ඇතිව නීතිපති උපදෙස් ලබාගැනීමෙන් පසු නොබෙල් සමාගමද තරඟය සදහා ඇතුළත් කර ගැනීමට ටෙන්ඩර් මණ්ඩලය තීරණය කර ඇත. එම තරඟයේදී අඩුම මිළ වාර්තා වී ඇත්තේ ස්විස් සිංගප්පූර් සමාගමේ ගල් අඟුරු මෙ.ටො 01කට ඇ.ඩො 82.47 හා ඊලඟට නොබෙල් සමාගම ඉදිරිපත් කල ඇ.ඩො 83.09 ලෙසයි' ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේය.
බලශක්ති ඇමතිවරයා පවසන ආකාරයට 'තාක්ෂණික ඇගයුම් කමිටුව ලංසු කරුවන්ගේ ණය පොලිය ගණන් බැලිමේදී මාස තුනක පොලිය වෙනුවට මාස දොළහකට පොලිය ගණන් බලා ඇති අතර එම තත්වයත් නිවැරදි කර ගල් අඟුරු කැටවල ප්‍රමාණය පිළිබඳව නිර්ණායකයට අදාළ නිවැරදි කිරීම් ද සිදු කිරීමෙන් පසු අවසන් තාක්ෂණික ඇගයීම් වාර්තාව ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව ස්විස් සිංගපූර් ආයතනය ඇමෙරිකානු ඩොලර් 82.87 ක අවම ඇගයීම් කළ ලංසුව ඉදිරිපත් කළ ආයතනය වු අතර, නොබෙල් සමාගම දෙවැනි අවම ඇගයීම් කළ ලංසුව වන ඩොලර් 83.25 ඉදිරිපත් කල තිබුණි. මේ අනුව ප්‍රසම්පාදන මණ්ඩලය ස්විස් සිංගපූර් ආයතනයට ටෙන්ඩරය ලබා දීමට නිර්දේශ කර ඇත'.
දූෂණ විරෝධී පෙරමුණ
ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සිංහල අංශය කළ විමසීමක දී දූෂණ විරෝධී පෙරමුණේ රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ 'පත්කර ඇති විකාරරූපී කමිටුව ප්‍රශ්නය යට ගැසීම සඳහා පත් කරන ලද්දක්' වන බවයි.

රජිත් කීර්ති තෙන්නකෝන්
බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනුයේ ටෙන්ඩර් ගැටළුව සම්බන්ධයෙන් අධිකරණය විසින් දෙනු ලැබ ඇති තීන්දුව පවා සැලකිල්ලට නොගනිමින් බවයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසන්නේ.
'රන්ජිත් සියඹලාපිටිය ඇමතිවරයා පදවිය භාර ගනු ලැබීමෙන් අනතුරුවයි මේ දූෂිත ටෙන්ඩරයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.එය වංචනික කැබිනට් පත්‍රිකාවක්.එය නිලධාරීන් පස් දෙනකුගේ අවශ්‍යතාවය උදෙසා ජාතික අභිලාශය පසෙක තබා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක්'රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටී.
දී ඇති ටෙන්ඩරය අහෝසි නොකිරීමත් ඉතා සැලසුම් සහගතව සිදු කෙරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වාරකන් සමය නිමාවේ හදිසි උවමනාව පෙරට දමමින් ගල් අඟුරු ගෙන්වීම පසුගිය වසර හයක කාලය පුරා දිගටම සිදු කොට ඇති බව පවසන දූෂණ විරෝධී පෙරමුණේ රජිත් කීර්ති තෙන්නකෝන් 'වර්තමානයේත් සිදු කෙරෙන්නේ දූෂිත ටෙන්ඩරය අහෝසි නොකොට මෙතෙක් සිදු වූ ආකාරයට යමින් එම දූෂණය පෙරට ගෙන යාම' වන බවයි පෙන්වා දෙන්නේ.

වීඩියෝ, නොරොච්චෝලේ හරිත විනාශය
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැටළු මතු වී ඇති බව ඒ අවට වෙසෙන ජනතාව පවසති.