හිටපු ආගමන විගමන පාලකට ලක්ෂ 66 ක දඩයක්

Image copyright Reuters

වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු ප්‍රධාන ආගමන විගමන පාලක ජේඒ ආරියසේනට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ 66 ක දඩයක් නියම කළේය.

1994 වසරේ මාර්තු 30 වැනි දින සිට 1994 වසරේ මාර්තු 30 වැනි දින දක්වා කාලසීමාව තුල කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 20 ක් වටිනා නිවසක් ඉදිකළ ආකාරය සහ රුපියල් ලක්ෂ දෙකක ස්ථාවර තැන්පතුවක් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් මෙම මෙම නඩුව පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාර හිටපු ආගමන සහ විගමන පාලකවරයා අදාළ චෝදනාවට වරදකරු කරන බව අධිකරණය තීන්දු කළේය.

විත්තිකරු රෝගී තත්වයකින් පසුවීම සහ ඔහුගේ වයස් සීමාව සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් පනවන මෙන් විත්තියේ නීතිවේදීහු ඉල්ලා සිටියහ.

එම කරුණ සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරුට රුපියල් ලක්ෂ 66 ක දඩයක් නියම කළ අතර වසර 10 කට අත්හිටවූ වසර 02 ක සිර දඬුවම්ද නියම කළේය.