ජාතික සමගිය වෙනුවට බලය උදෙසා ජාතිවාදය වපුරනවා - අනුර

අපට තිබෙන්නේ සමගිය සඳහා අරගලයක් - අනුර

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake/FB

ඡායාරූප ශීර්ෂ වැකිය,

"ජීවිතය පිළිබඳ අපේක්ෂා භංගත්වයක් ඇති කොට තිබෙනවා. අම්මලා පුතාගේ ඡායාරූපය අරගෙන පුතා කෝ කියලා යාපනයේ මංසන්ධියේ කෑමොර දෙනවා"

සමගිය දිනා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජාතිවාදී ගැටුම් වර්ධනය වීමේ ප්‍රවණතාවයක් රට තුළ දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළේ සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය විසින් යාපනයේ සංවිධානය කොට තිබූ සාහිත්‍ය උළෙලක් අමතමිනි.

විවිධ මනෝභාවයන් විසින් ජාතිවාදී ගැටුම් සහ ප්‍රවණතාවයන් වර්ධනය කළ ආකාරය, ඉතිහාසය පුරා දක්නට ලැබෙන අතර, ජාතික සමගිය පිළිබඳ දශක ගණනාවක සිට සාකච්ඡා කරන නමුත් තවමත් එය යථාර්තයක් වී නොමැති බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"1958,1978, 1981, 1983 වෙන්න පුළුවන්. මෑත කාලයේ බේරුවල වෙන්න පුළුවන්. තලවකැලේ වෙන්න පුළුවන්. ජාතිවාදී ගැටුම් ප්‍රබලතාව වර්ධනය වීමේ ස්වභාවයක් අපි දකිනවා," ඔහු පැවසීය.

යාපනයේ පැවති උත්සවය
ඡායාරූප ශීර්ෂ වැකිය,

"ඔවුන් බලා ඉන්නවා උතුරේ බෝම්බයක් පුපුරන තෙක්. දකුණෙන් එන බසයකට හූ කියන තෙක්. මොකක් වෙනුවෙන්ද බලය වෙනුවෙන්"

යුද්ධය හේතුවෙන් විශාල වශයෙන් පීඩාවට පත් වී සිටින වැන්දඹුවන් 45000 ක් සහ දෙමව්පියන් අහිමි වූ දරුවන් 2500 ක් උතුරේ පමණක් වාසය කරන බවත් ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය.

"ජීවිතය පිළිබඳ අපේක්ෂා භංගත්වයක් ඇති කොට තිබෙනවා. අම්මලා පුතාගේ ඡායාරූපය අරගෙන පුතා කෝ කියලා යාපනයේ මංසන්ධියේ කෑමොර දෙනවා."

ඒ සා ජනකායකගේ වේදනාව සමහන් කරනු වෙනුවට ශ්‍රී ලංකා ඉතිහාසය පුරා දක්නට ලැබෙන්නේ බලය වෙනුවෙන් ජාතිවාදය වපුරන ස්වභාවයක් බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ විග්‍රහයයි.

"ඔවුන් බලා ඉන්නවා උතුරේ බෝම්බයක් පුපුරන තෙක්. දකුණෙන් එන බසයකට හූ කියන තෙක්. මොකක් වෙනුවෙන්ද බලය වෙනුවෙන්."

උතුරේ සහ දකුණේ සියලු දෙනාට අද ඇත්තේ සමාජ පීඩනයට එරෙහි අරගලයක් බවත් ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවසීය.