කළු ජූලියේ තිස් තුන් වසරක වේදනාව

වසර තිස් තුනක කළු ජූලියේ වේදනාව Image copyright AP

වසර තිස් තුනකට පෙර දෙමළ බෙදුම්වාදී කැරලිකරුවෝ උතුරේදී හමුදා සාමාජිකයන් දහතුන් දෙනකු ඝාතනය කළහ. ඒ සමග ගත වූ දින කීපය තුළ කලහකාරී සිංහල පිරිස් විසින් රට පුරා දෙමළ ජාතිකයන් හාරසීයත් තුන්දහසත් අතර සංඛ්‍යාවක් මරා දමනු ලැබිණ.

කළු ජූලියේදී වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ රැඳවියන් 53 දෙනකුද ඝාතනයට ලක් විය.

1983 ජූලි 23 වනදා ඇරඹි කළු ජූලිය සිදු වී මේ සතියට වසර තිස් තුනක් ගත වී තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ කළු ජූලියෙන් මරුමුවට පත් සිය ඥාතීන් සිහි කොට උතුරේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වේ.

වව්නියාවේ හින්දු කෝවිලක පැවති එවැනි ආගමික වැඩසටහනක් සඳහා එක් වී සිටි පිරිසෙන් එක් අයෙකි වෛද්‍ය තුරෙයිරාජ් විලියම් ජේ කුලරාජ්.

කළු ජූලිය සමයේ අත්අඩංගුවට පත් වෛද්‍ය තුරෙයිරාජ් වැලිකඩ බන්ධනාගාරයේදී මුහුණ දුන් අත්දැකීම් බීබීසී සිංහල සේවයට විස්තර කළේය.

පහර කෑමට ලක් වූ පුද්ගලයන්ට ප්‍රථමාධාර ලබා දීම හේතුවෙන් තමා අත්අඩංගුවට පත් වූ බව ඔහු පවසයි.

කුට්ටිමනී, ජගන් ඇතුළු දෙමළ රැඳවියන් මරා දමා ඇති බව ඔවුන් රඳවා සිටි සිර මැදිරිවලට මදක් ඔබ්බෙන් පිහිටි සිර මැදිරියක රඳවා සිටි තමා දැන ගත් ආකාරය ඔහු සිහි කරයි.

'පොලු මුගුරු අතින් ගත්'

'අපේ බ්ලොක් එකටත් එන්න උත්සාහ කරලා තිබෙනවා.නමුත් ඔවුන්ට එන්න බැරි වෙලා. නමුත් අනිද්දා ඒ වෙලාවටම අපේ බ්ලොක් එකට කට්ටිය ආවා. '

'අපිට ගහන්න ආපු අය අතරේ විසි පස් දෙනෙක් විතර හිටියා. පොලු, යකඩ ඔවුන් අතේ තිබුණා. ඔවුන් දොර අඟුල් කඩා දැම්මා.' (හඬ පටයට සවන් දෙන්න)

කළු ජූලියේ ප්‍රචණ්ඩත්වය වැලිකඩ බන්ධනාගාරය දක්වා පැතිරී ගියේ කෙසේද?

'ඩොක්ටර් රාජ සුන්දරම් ඒ මොහොතේ මා සමග සිටියා. එයාට හොඳට සිංහල කතා කරන්න පුළුවන්.'

'ඇයි මල්ලි අපට ගහන්න එන්නේ. අපි කරපු වරද මොකක්ද? කියලා ඔහු ඇසුවා'

ඒ මොහොතේ කලහකාරීන් අතර සිටි අයෙක් තම මිත්‍රයා පිටතට ඇද ගත් ආකාරය වෛද්‍ය තුරෙයිරාජ් සිහි කරයි.

'එතකොටම තව එක් කෙනෙක් ලොකු පොරවකින් රාජ සුන්දරම්ගේ ඔලුවට ගැහුවා. කරාමයක් ඇරියා වගේ ලේ වීසි වුනා. එයා එතනම මැරුණා'

ඉන් අනතුරුව යකඩ පොල්ලකින් පහර කෑ තමා සිහිසන් වූ බව වෛද්‍ය තුරෙයිරාජ් සඳහන් කළේය.

'ලේ විලක්'

මිනිත්තු තිහකට හෝ විස්සකට පසු හමුදා සාමාජිකයන් පැමිණ තමා සිර මැදිරිවලින් පිටතට රැගෙන ගිය බවයි ඔහු පවසන්නේ.

Image copyright CHANDRAGUPTHA AMARASINGHA

'අපි පඩිපෙළ බැහැලා එනකොට දැක්කා මිනිස්සු මැරිලා හැමතැනම. ලේ විලක්. ඒ මළ සිරුරු උඩින් අපි එළියට බැස්සා'

වැලිකඩ බන්ධනාගාරයට කලහකාරී පිරිස් කඩා වැදුණු අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එහි නොසිටි බවත් වෛද්‍යවරයා සිහිපත් කරයි.

'නිලධාරීන්, බන්ධනාගාර ආරක්ෂකයන් කිසි කෙනෙක් එතන නැහැ. කුට්ටිමනී ඇතුළු පිරිස මරා දැම්මට පස්සේ මම කිව්වා එස්පී මහත්තයව හම්බ වෙන්නේ ඕනි කියලා.'

'සාමාන්‍යයෙන් උදේ පාන්දර ඇවිත් ගුඩ් මෝනින් ඩොක්ටර් කියන එතුමා ඒ දවසෙම ආවේ නැහැ' (සංදේශයට සවන්දෙන්න)

'අපි එළියට එන කොට දැක්කා ඔහු සහ පහළොස් දෙනෙක් විතර ඇවිද එනවා. එස්පී මාව අඳුරනවා හොඳට. ඔහු කිව්වා එන්න ඩොක්ටර් අපි බෙහෙත් දාමු කියලා.'

'මම කිව්වා, ඔයාගේ බෙහෙත් තියා ගන්නවා. මට බෙහෙතුත් ඕනි නැහැ. මුකුත් ඕනි නැහැ. එස්පී මහත්තයා හම්බ වෙන්න ඕනි කියලා මම ඊයේ ඉඳලා පණිවිඩ ඇරියා. ඒත් ඔයා අවේ නැහැ'

'වේදනාබර මතකය'

අවදානම් තත්වය තවමත් පහව ගොස් නොමැති බව තමා පිටතට රැගෙන ආ හමුදා කණ්ඩායමේ නිලධාරීවරයා ඒ අවස්ථවේ තමාට පැවැසූ බවයි වෛද්‍ය තුරෙයිරාජ් සඳහන් කළේ.

'ඩොක්ටර් තාම අවදානම ඉවර නැහැ. මම කියන දේ අහන්න කියලා ඔහු කිව්වා. ඊට පස්සේ ඒ නිලධාරීවරයා අපිව ට්‍රක් එකට ගෙන ගියා. එතනින් ගුවන් තොටුපලට ගිහින් මඩකලපුවට බන්ධනාගාරයට රැගෙන ආවා.'

වසර තිස් තුනක් ගත වී ඇතත් එදා තමා මුහුණ දුන් ඒ වේදනාබර අමිහිරි සිදු වීම් තවමත් එලෙසම මතකයේ රැඳී තිබෙන බව වෛද්‍ය තුරෙයිරාජ් විලියම් ජේ කුලරාජ් වැඩිදුරටත් කියා සිටියේය.

රට පුරා පිහිටි දෙමළ ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑමට ලක් වූ අතර ලක්ෂ ගණනක් දෙමළ වැසියන් නැගෙනහිර සහ උතුරු පළාත් බලා පළා ගියහ. තවත් දහස් ගණනක් විදෙස් ගත වූහ.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට කළු ජූලිය ප්‍රධාන හේතුවක් වූ බව විශ්ලේෂකයන්ගේ මතයයි.

වසර විසි හයක් පුරා පැවති යුද්ධය හේතුවෙන් මරුමුවට පත් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.

බීබීසී යෙන්