කුමාරන් පද්මනාදන් ගැන 'තවදුරටත් පරීක්ෂණ'

Image copyright Interpol India
Image caption ඔක්තෝබර් 25 වැනි දින දක්වා කුමාරන් පද්මනාදන්ගේ විදෙස් ගමන් තහනම්

කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වන කුමාරන් පද්මනාදන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් පනවා ඇති නියෝගය ඔක්තෝබර් මස 25 වනදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

අධිකරණය එම නියෝගය කළේ, කුමාරන් පද්මනාදන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ.

කුමාරන් පද්මනාදන් පිළිබඳ පොලිස් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව පෙත්සම කැඳ වූ අවස්ථාවේ කරුණු දැක්වූ රජයේ පාර්ශවයේ නීතිවේදීයා කියා සිටියේය.

කොමිසමට 'අපහාස කිරීම'

ඒ අනුව ඔක්තෝම්බර් මස 25 වැනි දින පෙත්සම සලකා බැලීමට අධිකරණය තීන්දු කළේය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය, කොමිසමේ විමර්ශනවලට සහාය නොදීම හේතුවෙන් මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පැවරීමට සිදු වූ බව සඳහන් කළාය.

Image caption අල්ලස් කොමිසමට අපහාස කළ බවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට චෝදනා

වගඋත්තරකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහෙත් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට පදනම් වන ලේඛන කිසිවක් අල්ලස් කොමිසම තමන් වෙත ලබාදී නොමැති බැවින් චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට අපහසු බවයි, විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ.

ඒ අනුව චෝදනාවලට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශවයට ලබාදෙන මෙන් අල්ලස් කොමිසමට නියම කළ අධිකරණය වැඩිදුර විමසීම අගෝස්තු මස 03 වැනි දින දක්වා කල් තබන බව නිවේදනය කළේය.