බීමට දිය නැති ජනතාව මහ පාරේ

Image caption පාරේ හිඳ ගත් ජනතාව

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ ජනතාව පානීය ජලය සපයන ලෙස ඉල්ලා සිටිමින් මහා මාර්ගය හරස් කිරීමත් සමඟ නගරය ඔස්සේ සිදු කෙරෙන රථ වාහන ගමනාගමනය පැය කීපයක් අඩාල විය.

අම්බලන්තොට නගරය ඔස්සේ දිවෙන මාතර - කතරගම ප්‍රධාන මාර්ගය විවෘත කිරීම සඳහා පොලිසිය මැදිහත් වීමත් සමඟ ගැටුම්කාරී තත්වයක් ද මතු වූ බවයි හම්බන්තොට ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි පවසන්නේ.

Image caption ප්‍රධාන මාවතේ ප්‍රවාහනයට බාධා

අද (25) පෙරවරුවේ ආරම්භ වූ මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය පැය හතරක පමණ කාලයක් පෙරට යමින් තිබුණ බවත් ඔහු පවසයි.

අම්බලන්තොට රුහුණු රිදියගම ප්‍රදේශයේ කරබගල මුල්ල ,ගොඩකොග්ගල්ල යන ග්‍රාම නිලධාරී වසම් දෙකක ජනතාව කියා සිටින්නේ පානීය ජලය නොමැති කමින් තමන් බලවත් දුෂ්කර අඩියකට වැටී සිටින බවයි.

Image caption ගැටුම්කාරී තත්වයක්

ප්‍රදේශයේ පවුල් 540 කට අයත් 2500කට අධික ජනතාව දින හයක පමණ කාලයක් පානීය ජලය නොමැතිව පීඩා විඳින අතර අදාළ බලධාරීන් ජල ගැටලුව විසඳීමට මෙතෙක් පියවර ගෙන නැති බවයි විරෝධතා ව්‍යාපාරයට පිවිසි ජනතාව කියා සිටින්නේ.

බීබීසී යෙන්