‘අපේ සල්ලි අපට නැහැ - පොහොර සහනාධාරයේ මුදල් ගසා කෑම්’

මුදල් එපා පොහොර දෙන්න
ඡායාරූප ශීර්ෂ වැකිය,

මුදල් එපා පොහොර දෙන්න

පොහොර සහනාධාරය වෙනුවෙන් තමන්ට ලැබිය යුතු මුදල් වෙනත් තැනැත්තන්ගේ ගිණුම් වලට බැර කරනු ලැබ ඇතැයි කන්තලේ ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති.

එම ප්‍රශ්නයට ගොදුරු වී සිටින කන්තලේ ගොවියකු වන ඒ. වී.ජයතිලක ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටින්නේ 'පොහොර වෙනුවට ගොවියාට මුදල් ලබා දීමට රජය අනුගමනය කරන ක්‍රමවේදයේ ඇති අඩුපාඩු සහ අවුල් සහගත බව නිසා මෙවැනි වැරදි පමණක් නොව මහා පරිමාණයේ මුදල් අක්‍රමිකතා සිදු වෙන' බවයි.

'පසු ගිය රජයෙන් ගොවියාට සහනාධාරයක් හැටියට රුපියල් තුන්සිය පණහ බැගින් අක්කරයකට පොහොර මිටි තුනක් දුන්නා. යහපාලන ආණ්ඩුව පොහොර වෙනුවට අක්කරයට රුපියල් පන්දාහක් දෙන බව කිව්වා. පොහොර මිටියක මිළ රුපියල් දෙදහස් පන්සීයයි. ඒ මුදලට ගන්න පුළුවන් මිටි දෙකක් පමණයි. තව සති දෙකකින් යායේ ගොයම් කැපෙනවා. මම වී වපුරලා මාස තුනයි. මගේ පොහොර සල්ලි පොළොන්නරුවේ ගොවියෙකුගේ ගිණුමට බැර වෙලා කියලයි කන්තලේ ගොවි ජන සේවා නිලධාරියා කියන්නේ. එහෙම කියල මාස දෙකක් ගත වුනා. මගේ සල්ලි තවමත් නෑ' ඒ. වී.ජයතිලක පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

වීගොවීන් පිරිසක්

මේ අතර ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරීන් කියා සිටින්නේ පොහොර සහනාධාර මුදල් ගොවියාට ලබා දීමේ වගකීම ලංකා බැංකුවේ සහ මහජන බංකුවේ මූලස්ථාන වලට පැවරීම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වන බවයි.

එම කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරිය යුතු වගකීමක් විය යුතු බවයි එම නිලධාරීන් පවසන්නේ.

අවුල් ජාලයක්

ප්‍රාදේශීය මාධ්‍යවේදී ආර්.ජී. ධර්මදාස මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධානියකු ප්‍රකාශ කළේ 'මේ ක්‍රමය එහෙම පිටින් ම අවුල් ජාලයක්. මට මහා හිසරදයක් .මම අද හෙටම මේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා .රජයේ සල්ලි වලින් බැංකුව බිස්නස් කරනවා ගොවියෝ අපට බනිනවා' යනුවෙනි.

'සමහර ගොවි ජන සේවා කාර්යාල වල සේවය කරන ඇතැම් නිලධාරීන් තම ඥාතීන්ගේ බංකු ගිණුම් වලට ගොවීන්ගේ මුදල් බැර කරනවා. හිතවත් ගොවීන් හා එක්ව වී වගා නොකළ ඉඩම් වලට මුදල් අනුමත කරනවා. බොහෝ ඉඩම් වලට බලපත්‍ර ඔප්පු සහ පිඹුරු පත් නොමැති කම දඩමීමා කර ගනිමින් ඇතැම් ගොවීන් නිලධාරීන් නොමග යවා සහනාධාර මුදල් ලබා ගන්නවා. එවැනි වංචනික ක්‍රියා පිළිබඳව සෙවීමට දැනටමත් රහස් පොලිසිය යොදවා තියෙනවා' පොහාර ලේකම් කාර්යාලයේ එම නිලධාරියා ප්‍රාදේශීය මාධ්‍යවේදී ආර්.ජී. ධර්මදාස සමඟ ප්‍රකාශ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, වී ගොවීන්ගේ පා ගමනක්

මේ අතර පසුගිය 21 වෙනි දින ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී එවැනි කරුණු නැවත ප්‍රකාශ කෙරුණ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති ගොවි ජන සේවා මධ්‍යස්ථාන විසි දෙකටම සහකාර ගොවි ජනසේවා නිලධාරීන් සිටින්නේ දහ දෙනකු පමණක් බවත් ,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 198 දෙනෙකු අවශ්‍ය කරන නමුත් දැනට සිටින්නේ 54 දෙනෙකු පමණක් බවත් එම රැස්වීමේ දී හෙළිදරව් වූ බව ප්‍රාදේශීය මාධ්‍යවේදී ආර්.ජී. ධර්මදාස වාර්තා කරයි.

සල්ලි අනුන්ගේ ගිණුම් වලට

දැනට අණාවරණය වී ඇති තොරතුරු වලට අනුව ත්‍රිකුණාමලයේ ගොවීන් 23833 දෙනෙක් පොහොර සහනාධාර මුදල් අයැදුම් කර ඇති අතර ඔවුන්ගෙන් 1076 දෙනෙකුට තවමත් මුදල් ලැබී නැති අතර ගොවීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් 304 දෙනෙකු පොහොර මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍යවේදී ආර්.ජී. ධර්මදාස පවසන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

සල්ලි වෙනුවට පොහොරම ඉල්ලන දකුණේ ගොවීන්

ගොවීන් 584 දෙනෙකුගේ මුදල් වෙනත් පළාත් වල පදිංචි කරුවන්ගේ බැංකු ගිණුම් වලට බැර වී ඇති බව ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී හෙළි වූ බවත් මාධ්‍යවේදියා පවසයි.