කඩොලාන 'කාලගුණික විපර්යාසයට පිළියමක්'

Image copyright Seacology
Image caption ආසියාවේ කඩොලාන වනාන්තර වල ආර්ථික වටිනාකම මැන බැලීමේ සමීක්ෂණයක් තුළින් ඉදිරිපත් වූ තොරතුරු අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ අනූ හතරදහසකි.

ලෝක කඩොලාන දිනය සමරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ලෝකය මුහුණ දෙමින් සිටින කාලගුණික විපර්යාසයට පරිසරයේ ඇති කාබන් උරා ගැනීමේ හැකියාව ඇති කඩොලාන ඉතා ඵලදායී පිළියමක් වන බවයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ කඩොලාන සම්පත සුරැකීම වෙනුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියට වසරක් සැපිරීම නිමිති කරගෙන පැවති උත්සවයකදීයි.

පරිසරයේ කාබන් උරා ගැනීම හැරුණු විට කඩොලාන වනාන්තර දුර්ලභ මත්ස්‍ය වර්ග වල පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන අතර දිවයින මුහුණ දෙන කුණාටු සහ සුනාමි තත්වයන්ගෙන් සිදු වන හානිය අවම කර ගැනීමටද දායක වෙයි.

26 වෙනිදාට යෙදෙන ලෝක කඩොලාන දිනය සටහන් කරමින් ලොව පළමු කඩොලාන කෞතුකාගාරය අද ශ්‍රී ලංකාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කරනු ලැබුණි.

මෙම කෞතුකාගාරය හරහා කඩොලාන සංරක්ෂණය පිළිබඳ ජනතාවට පුහුණුවක් ලබා දීම සහ පාසල් දරුවන්ට කඩොලාන පිළිබඳ අධ්‍යාපනය ලබා දීම සිදු කිරීමට සැලසුම් කර ඇති අතර පළමු වර්ෂය තුළ 20000කට අධික පාසල් සිසුන් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙනු ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.

ලොව පළමු කඩොලාන කෞතුකාගාරය

ඊට අමතරව කඩොලාන සංරක්ෂණය ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමටද රජය විසින් උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව පුරා තිබෙන සියලුම කඩොලාන වනාන්තර සුරැකීම සඳහා නිර්මාණය කර ඇති පස් අවුරුදු සැලැස්මේ පළමු පියවර ලෙසයි කඩොලාන වෙනුවෙන් මෙම කෞතුකාගාරය පිහිටුවා තිබෙන්නේ.

Image copyright Seacology
Image caption මත්ස්‍ය වර්ග වලට බෝ වීමට සහ ව්‍යාප්තියට රුකුල් සපයන කඩොලාන වනාන්තර ශ්‍රී ලංකාවේ ධීවර පවුල් රැසකට ජීවිකාව සපයයි.

ඉතා විශාල ප්‍රමාණයෙන් පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නා කඩොලාන ශාක මුදා හරින ඔක්සිජන් පරිමාව පාරිසරික සමතුලිතතාව රැක ගැනීමට මහත් රුකුලක් සපයන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ කඩොලාන සම්පත සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති තුළින් කඩොලාන වනාන්තර ආසන්නයේ ජීවත් වන ජන කණ්ඩායම්, සංචාරක ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන්, පාසල් දරුවන් සහ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම කඩොලාන සංරක්ෂණය සහ එහි වැදගත්කම පිළිබඳව දැනුවත් වනු ඇති බව සිය විශ්වාසය බවයි.

දූපත් සංරක්ෂණය කිරීමේ ඇමෙරිකානු සංවිධානයක් වන 'සීකොලොජි' (Seacology) සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහයෝගය ඇතිව රජය විසින් මේ වන විට ශ්‍රී ලංකාව පුරා හෙක්ටයාර පහළොස්දහසක පමණ විසිරී ඇති කඩොලාන වනාන්තර හඳුනාගෙන ඇති අතර ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කොට තිබේ.

ඊට අමතරව කඩොලාන වනාන්තර සුරැකීම වෙනුවෙන් නව නීති හඳුන්වා දීමටත් ඒ වෙනුවෙන් වනසංරක්ෂණ නිලධාරීන් පත් කිරීමටත් අවශ්‍යය යෝජනා රජයේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

'සීකොලොජි' සංවිධානයේ අධ්‍යක්ෂකවරයා (Duane Silverstein) කියා සිටියේ සම්පුර්ණ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි තිස් හතරක් වැය වන බවට ගණන් බලා තිබුණද සමස්ථ පරිසර පද්ධතියටම ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තර වලින් ඉටු වන සේවය හා සසඳන විට එය ඉතා සුළු මුදල් ප්‍රමාණයක් බවයි.

Image copyright T.WEI
Image caption සුනාමි සහ කුණාටු වලින් වෙරළ ආරක්ෂා කර ගැනීමට කඩොලාන වනාන්තර දායක වෙයි.

පසුගිය වසරේ ක්‍රියාත්මක කෙරුණු ආසියාවේ කඩොලාන වනාන්තර වල ආර්ථික වටිනාකම මැන බැලීමේ සමීක්ෂණයක් තුළින් ඉදිරිපත් වූ තොරතුරු අනුව කඩොලාන හෙක්ටයාරයක ආර්ථික වටිනාකම ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ අනූ හතරදහසක් වන බව කියා සිටි අධ්‍යක්ෂකවරයා ඒ අනුව ශ්‍රී ලංකාවේ කඩොලාන සුරකීමේ ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් කෝටි දෙසිය අනූවක වටිනාකමක් ලබන බවයි පැහැදිළි කළේ.

පරිසර ප්‍රතිලාභ

  • මුහුදු ජලයේ ආරක්ෂාකාරී අඳුරු වනාන්තර සකසන කඩොලාන ශාකයේ මුල් අතර දුර්ලභ වර්ගයේ මත්ස්‍ය වර්ග බෝ වන අතර මත්ස්‍යන්ගේ මූලික අවධියෙදී උන් ආරක්ෂා කිරීමට කඩොලාන වනාන්තර විශාල දායකත්වයක් සපයයි.
  • සුනාමි සහ කුණාටු වලින් වෙරළ ආරක්ෂා කර ගැනීමට කඩොලාන වනාන්තර දායක වෙයි.
  • සැඩ මුහුදු රළ වේගය පාලනය කරන කඩොලාන වනාන්තර මුහුදු ඛාදනය අවම කර ගැනීමට රුකුල් සපයයි.
  • අනිකුත් ශාක හා සසඳන විට ඉතා විශාල පරිමාණයෙන් පරිසරයේ පවතින කාබන් උරා ගන්නා කඩොලාන ශාකය ඔක්සිජන් වායු ගෝලයට මුදා හරියි.

එක්සත් ජාතීන් විසින් නිකුත් කළ පරීක්ෂණ වාර්තාවකට අනුව හෙක්ටයාරයක කඩොලාන වනාන්තරයක් පොළව යට සහ වායුගෝලයේ පවතින කාබන් ටොන් දහසක් උරා ගැනීමට ක්‍රියා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින කඩොලාන වනාන්තර හෙක්ටයාර පහළොස්දහස හරහා පරිසරයට අහිතකර කාබන් ටොන් මිලියන පහළොවක් උරා ගැනීම සිදු කරන බවටයි ගණන් බලා තිබෙන්නේ.

ගෝලීය ගැටළු

ලෝකයේ දිගින් දිගටම වැඩි වෙමින් පවතින ඉස්සන් සහ පොකිරිස්සන් සඳහා වූ ඉල්ලුම හේතුවෙන් විශාල පරිමාණයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන ඉස්සන් ගොවිපොළවල් ලෝකය පුරාම කඩොලාන වනාන්තර වලට විශාල තර්ජනයක් එල්ල කරමින් සිටියි.

වඩදිය බාදියට හසුවන වෙරළාසන්න මුහුදු කලාපයේ තනන ලද මුහුදු වතුර කොටු වල බෝ කරන ඉස්සන් සහ පොකිරිස්සන් වගා ව්‍යාප්ත කිරීමට රජයේ අවසරය ඇතිව හෝ නීති විරෝධීව එම කලාප වල ඇති කඩොලාන වනාන්තර කපා දැමීම සිදු කෙරෙයි.

Image copyright Focus Bangla
Image caption ඉස්සන් සහ පොකිරිස්සන් වගා ව්‍යාප්ත කිරීම

මෙලෙස සිදුවන කඩොලාන විනාශය කඩොලාන සම්පත තුරන් වීමට බලපාන ප්‍රධානම සාධකය බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

'සීකොලොජි' සංවිධානයේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ මේ වන විට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ කඩොලාන සම්පත සුරකීමේ ව්‍යාපෘතිය ඉදිරි වසර හතර තුළ සාර්ථකත්වයට පත් වනු ඇති බව සිය විශ්වාසය වුවද ලෝකයේ කඩොලාන වනාන්තර ආරක්ෂා කිරීමට විශාල වශයෙන් සැලසුම් අවශ්‍යව තිබෙන බවයි.

තවත් රටවල් සමග කඩොලාන සම්පත සුරැකීම වෙනුවෙන් මෙවන් ව්‍යාපෘති දියත් කිරීමට සිය සංවිධානය සුදානමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

බීබීසි පරිසර වාර්තාකරු මාර්ක් කින්වර් විසින් ශ්‍රී ලංකාවේ කඩොලාන සුරැකීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් ඇසුරෙන් ලිපිය සැකසුවේ පවිත්‍රා පෙරේරා.

බීබීසී යෙන්