මොරගහකන්ද ව්‍යාපෘතිය: උතුරේ මහ ඇමතිගෙන් ඉල්ලීමක්

ඡායාරූප මූලාශ්‍රය, president.gov.lk
මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබා දීමේ අදියරයේ යම් අයිතියක් උතුරු පළාත් සභාවට ලබා දෙන ලෙස උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම කළේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ උතුරේ දේශපාලන අධිකාරිය දැනුවත් කරනු වස් ජයිකා ආයතනයේ නිලධාරීන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී.
උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ පළාත් සභාවේ නියෝජිතයෝද සාකච්ඡාවට සහභාගි වී සිටියහ.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්කේ ශිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ උතුරට ජලය ලබා දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමඟ ගිවිසුමකට අත්සන් කළ යුතු බවටත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටි බවයි.
මහවැලි ජලය උතුරට ලබා දීම සම්බන්ධයෙන් තමන් ඉතා සතුටට පත් වන බවත් ඒ පිළිබඳව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ගැටලුවලට තමන්ට මැදිහත් විය නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසත් එයට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයෝ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.