පාද යාත්‍රාව 'හොරුන් රැකගැනීමේ උත්සාහයක්'

Image copyright Harin Fernando
Image caption "රැකියා දස ලක්ෂය කොහොමද දෙන්නේ වගේ දේවල්. අපි දීපු පොරොන්දු ඉටුකරනවද කියල බලන්න ඕන. අන්න ඒවා ගැන විවේචනය කරන්න"

ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරනු ලබන 'පාද යාත්‍රා' විරෝධතා පාගමන හොරුන් රැක ගැනීම සඳහා ජනතා සහය ලබාගැනීමේ උත්සාහයක් බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

ඩිජිටල් සහ විදුලි සංදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය හරින් ප්‍රනාන්දු එම චෝදනාව එල්ල කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන පාද යාත්‍රා විරෝධතා වැඩසටහන ගැන මේ දිනවල දේශපාලන ලෝකයේ කතා බහට ලක්වෙමින් තිබෙනවා,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා මහනුවර නගරයෙන් ආරම්භ වන පාගමන පිළිබඳව එජාපයේ පැහැදිලි කිරීම පිණිසයි එම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.

"බෙල්ලට තොණ්ඩුව වැටෙන්න යන කොට, බෙල්ලට තොණ්ඩුව වැටීම වැළකීම සඳහා ජනතාව එකතු කර ගෙන පාරට බැහැලා අනේ අපිව හිරේ දාන්න එපා කියන වැඩේ කරන්නයි ඔය හදන්නේ," ඔහු පැවසීය.

Image caption "බාධා නොතකා දස ලක්ෂයක් කොළඹට ගේනවා"

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවකට එරෙහිව මෙවැනි විරෝධතා දියත් කරන්නේ ආණ්ඩුවකට වැඩකරගෙන යාමට වසර කිහිපයක් ලබාදීමෙන් අනතුරුව බව අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ මතයයි.

නව ව්‍යවස්ථාව හරහා රට බෙදන බවටත්, බුදු දහමට රාජ්‍ය ආගම ලෙස තිබෙන ස්ථානය නැතිකිරීමට උත්සාහ කරන බවටත් 'අසත්‍ය ප්‍රචාර' ගෙන යන බවටත් අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයට චෝදනා කරයි.

"බොරු කියල ජනතාව රවට්ටනවාට වඩා, කියන්න දේවල් තියෙනවා ආණ්ඩුවට කියන්න. මේවට නෙවෙයි මේ ආණ්ඩුවට බනින්න ඕනේ. මීට වඩා බනින්න ඕන තරම් දේවල් තියෙනවා."

එසේ 'බැනිය යුතු' කරුණු මොනවාද යන්න එහිදී බීබීසී සංදේශය අමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නයක්.

"ආණ්ඩුව දුන්නු පොරොන්දු ගැන අහන්න ඕන. රැකියා දස ලක්ෂය කොහොමද දෙන්නේ වගේ දේවල්. අපි දීපු පොරොන්දු ඉටුකරනවද කියල බලන්න ඕන. අන්න ඒවා ගැන විවේචනය කරන්න."

කෙසේ නමුත් කුමන ආකාරයේ බාධා එල්ල වුවත් ආණ්ඩුවට එරෙහි පාද යාත්‍රාව සාර්ථකව සිදු කරන බවයි ඒකාබද්ධ විපක්ෂය මීට ඉහතදී අවධාරණය කළේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන ඕනෑම පනතක් තුනෙන් දෙකක බහුතර කැමැත්ත ඇතිව සම්මත කර ගන්නා බැවින් ආණ්ඩුවට එරෙහි සිය අරගලය පාර්ලිමේන්තුවෙන් ඔබ්බට ගෙන යාමට තීරණය කළ බවයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුගිය ඉරිදා පොලොන්නරුවේදී ජන හමුවක් අමතමින් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර