'මාධ්‍ය නියාමන කොමිසම අසත්‍ය මාධ්‍යකරණය පාලනයට'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ ඉහළ වෘත්තිය භාවයක් සහිත මාධ්‍ය කර්මාන්තයක් ගොඩනගණු වස් ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි
අසත්‍ය පුවත් වාර්තා කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව නිසි පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී කාරණය දෙස අවධානය යොමු කොට ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි.
පුවත්පත් නියාමනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති පුවත්පත් මණ්ඩලය හා පුවත් පත් පැමිණිලි කොමිසම වැනි ආයතන අසාර්ථක වී තිබීමත් විද්‍යුත් මාධ්‍ය නියාමනයට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම වැනි කාරණා හේතු කර ගෙන රජය මාධ්‍ය නියාමනය සඳහා නව නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.
වගකීම් විරහිත ලෙස අසත්‍ය පුවත් වාර්තා කිරීම දිගින් දිගටම සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරනු ලබන අසත්‍ය ප්‍රකාශ ඒ ආකාරයෙන්ම ප්‍රධාන සිරස්තලවල පළ වීමේ ප්‍රවණතාවක් පවතින බවත් ඇමතිවරයා සඳහන් කළේය.
'නීතිය පොදුයි'

''අනිත් පාර්ශවයෙන් අහන්නෙ වත් නැහැ, එහෙම දාපු කතාවක් ගැන ජනාධිපතිතුමා ඊයේ කැබිනට් මණ්ඩලයේදී කිව්වා.''
චරිතයට හානි සිදු වන ආකාරයට පළ කරනු ලබන එවැනි අසත්‍ය වාර්තා නිවැරදි කිරීමේ ක්‍රමවේදයේ අඩුපාඩු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
"පුද්ගලයකුගේ චරිතයට ගහලා, ඊට පස්සේ දානවා නිවැරදි කිරීමක් කියල පොඩියට. නිවැරදි කිරීම ඊලග දවසේ බැලුවේ නැත්නම් පළමු පුවත තමයි මිනිස්සු දන්නේ."
මාධ්‍යවේදීන්ට පමණක් නීතියක් නොමැති විය නොහැකි බව කියා සිටි අමාත්‍යවරයා අසත්‍ය පුවත් වාර්තා කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ජනාධිපතිවරයගේද මතය වූ බවයි පවසන්නේ.
'ස්වාධීන කමිටුවක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මේ මාධ්‍යවලට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන කියල ජනාධිපතිතුමා කිව්වා, එතකොට අගමැතිතුමා කිව්වා ඒ ගැන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියලා."
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ ඉහළ වෘත්තිය භාවයක් සහිත මාධ්‍ය කර්මාන්තයක් ගොඩනගණු වස් ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි.
"ඒකට අවශ්‍ය යම් නීතිරීති හදා ගැනීමට අවශ්‍යයි, ස්වාධීන කමිටුවක් විසින් ඒ පිළිබඳ සංකල්ප පත්‍රයක් හදාගෙන යනවා."
මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කොට ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ජනමාධ්‍ය ආයතන හා සංවිධානවල එකඟත්වය ඇතිව ඒ සඳහා වූ නව යන්ත්‍රණය සැකසෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් සඳහන් කළේය.