විශිෂ්ටතමයන් අතරට එක් වන මුරලි ගැන මාවන්

විශිෂ්ටතමයන් අතරට එක් වන මුරලි ගැන මාවන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නම ඇතුළත් කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයකු සහ ඔහුගේ ක්‍රීඩා සගයෙකු වශයෙන් ආඩම්බරයට පත් වන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාවන් අතපත්තු පවසයි.

'මේක අපි ශ්‍රී ලංකාවාසී සැමටත් ක්‍රිකට් ලෝලීන් සැමටත් විශේෂ දවසක්' ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

කෙසේ වෙතත් මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවක් පසුව හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ තමා සතුටට පත් වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තවත් සිටින බවයි ඔහු පවසන්නේ.

මුරලි සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම

මේ අතර සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ විවේචනයට ලක් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී මාවන් අතපත්තු කියා සිටියේ මුත්තයියා මුරලිදරන් වෘත්තීය මට්ටමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නේ නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පුහුණු කටයුතු කිරීමේ වරදක් තමන් නොදකින බවයි.

'ඔහු පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරනවා නම්, ඔහු මුළු ලෝකයටම සේවය සැපයීමට සූදානම්ව සිටිය යුතුයි. එක කණ්ඩායමකට පමණක් සීමා වී තමන්ගේ වෘත්තීය ඉදිරියට ගෙන යන්න ඔහුට බැහැ' මාවන් අතපත්තු පැවසීය.

'යමි කිසි කෙනෙක් මුරලිගෙන් ඕනෑම ආකාරයේ උදව්වක් ඉල්ලුවොත්, කරන්න පුළුවන් දෙයක් නම් ඔහු ඒක කරනවා. කරන්න බැරි දෙයක් වුනත් කරන්න උත්සාහ කරනවා. මටත් එවැනි අත්දැකීම් තියෙනවා. මුරලි කියන්නේ ඒවගේ චරිතයක්.' ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මාවන් අතපත්තු වැඩිදුරටත් කියා සිටියේය.