'හරියට ආණ්ඩු කළා නම් දිය පට්ට එනකම් ඇවිදින්නේ මොකද?'

Image copyright Getty Images
Image caption බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියත් ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව රට ගොඩනැගීමට කැපවෙනවා - ජනපති

ශ්‍රී ලංකාවේ හිටපු නායකයින් නිසි පරිදි රට පාලනය කළේ නම් 'දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට' සිදු නොවනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනසටන පාද යාත්‍රාව ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ මාවනැල්ල නගරයේ පැවති උත්සව සභාවක් අමතමින්.

ජනසටන පාද යාත්‍රාව මාවනැල්ලෙන් ආරම්භ වන විට ජනාධිපතිවරයා සිටියේත් මාවනැල්ල නගරයේ.

"මම නම් ජනාධිපති ධුරයේ ඉඳල ආපහු මට ආණ්ඩුවක් ඕනේ කියල කකුල් දෙකේ දිය පට්ට වෙනකම් මම නම් ආපහු යන්නේ නැහැ," ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

"හරියට ආණ්ඩු කළා නම් ආපහු දිය පට්ට එනකම් ඇවිදින්නේ මොකද මේ ආණ්ඩුවක් එනකම්, අවුරුදු 11ක් ආණ්ඩු කරලා?" ඔහු ප්‍රශ්න කළේය.

Image caption "හරියට ආණ්ඩු කළා නම් ආපහු දිය පට්ට එනකම් ඇවිදින්නේ මොකද මේ ආණ්ඩුවක් එනකම්, අවුරුදු 11ක් ආණ්ඩු කරලා?"

රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරකින් වර්තමානයේ ශ්‍රී ලංකාව පෙළෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමු බව පෙන්වා දුන්නේය.

"ලොකු සංවර්ධනයක් ගැන කියනවා. අරක කලා මේක කළා කියල කියනවා, මේ ආණ්ඩුව එහෙම නැහැ සංවර්ධනයක් කියල කියනවා, හැබැයි කෝටි නව ලක්ෂයක් ණය බර."

ශ්‍රී ලංකාව සංවර්ධනය කරන අතරම රාජපක්ෂ පාලනයේ කෝටි නව ලක්ෂය ගෙවීමටත් සිය ආණ්ඩුවට සිදු වී ඇති බවයි, ජනාධිපතිවරයා පවසන්නේ.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ලෙසින් නොබෙදී සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස ජර්මනිය ලබා ඇති ඉහල ප්‍රගතිය පෙන්වාදුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවටද අවශ්‍යවන්නේ එවැනි වැඩපිළිවෙලක් බවත් සඳහන් කළේය.

'බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන' පාරේ ඇවිද ගියත් සිය ආණ්ඩුව ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර