හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට සමාජගත වීමේ අභියෝගයක්

Image copyright Getty Images

රජය පොරොන්දු වූ පරිදි එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන්ට පොදු සමාවක් ලබා දෙන්නේ නම් ඔවුන්ට සියලු ජන කොටස් සමග සහජීවනයෙන් හා සමගියෙන් ජීවත් විය හැකි බව ඕඩ්ඩුසුඩාන් පළාතේ හිටපු එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා පවසයි.

රජයේ පොරොන්දුවල විනිවිදභාවයක් හා ප්‍රයෝගික බවක් නොමැති හෙයින් දැනට ජීවතුන් අතර සිටින හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් තිස් දහසකට පමණ දැඩි අවිනිශ්චිත භාවයක් උද්ගත වී ඇති බව නම හෙළි කිරීමට අකමැති වූ පැරණි කැරලිකරුවා කියා සිටියේ ඕඩ්ඩුසුඩාන් පළාතේ සෙනසුරාදා (30) කැඳවන ලද විශේෂ කමිටුවක් ඉදිරියේ අදහස් පළ කරමිනි.

දෙමළ ජාතික සන්ධානය විසින් එම කමිටුව ස්ථාපිත කොට ඇති අතර උතුරු නැගෙනහිර පළාත්වල සිදු වූ බවට චෝදනා එල්ල වන යුද අපරාධ සම්බන්ධයෙන් පොදු අදහස් විමසා ඒ ඔස්සේ වාර්තාවක් සකස් කිරීම කමිටුවේ අරමුණයි.

ඉන් අනතුරුව අදාළ වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි TNA කමිටුව පවසන්නේ.

සිය අනන්‍යතාව හෙලි කිරීමට එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා අකැමති වුවත් ඔහු එම සංවිධානයේ සිටි බවට තොරතුරු සහතික කොට තිබේ.

'බිය සහ අවිනිශ්චිතභාවය'

ඉහත කී පැරණි කැරලිකරු වැඩිදුරටත් කියා සිටින්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන්ට පොදු සමාවක් ලබා දෙන බවට රජය පොරොන්දු වුවත් අධිකරණ වලට ඉදිරිපත් නොකොටම එම සාමාජිකයින්ට දඩුවම් විදීමට සිදුව ඇති බවයි.

තවමත් සිර භාරයේ පසු වන එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ට යුක්තිය හා සාධාරණය ඉටු වී නොමැති බවත් රජයේ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි නිසා ඔවුන්ට සමාජයට අනුගත වීමට බියක් ඇති බවත් ඔහු සඳහන් කරයි.

යළි යුද්ධයකට යාමට මේ පිරිස් තුළ කිසිදු මනෝභාවයක් නොමැති බව තමන්ට සහතික වශයෙන් කිව හැකි බව පවසන එම හිටපු ප්‍රාදේශීය නායකයා පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන්ට රජයෙන් ලබා දෙන බවට පොරොන්දු වූ සහන කිසිවක් මේ දක්වා නොලැබීම නිසා රජයේ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් නැතැයිද කියා සිටියේය.

රජයේ පොරොන්දු වල සත්‍යතාවයත්, විනිවිදභාවයත්, ප්‍රයෝගික බවක් පෙනෙන්නට ඇත්නම් එල්ටීටීඊයේ හිටපු සියලුම සාමාජික සාමාජිකාවන්ට කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව පොදු ජනසමාජයේ ක්‍රියාකාරකම් සමග එකතු වී සියලු ජන කොටස් සමග සහජීවනයෙන් යුතුව ජීවත් විය හැකි බවද ඕඩ්ඩුසුඩාන් පළාතේ හිටපු එල්ටීටීඊ ප්‍රාදේශීය නායකයා වැඩිදුරටත් පැවසීය.