IMF ණය: 'උගුලෙන් එළියටද කබලෙන් ලිපටද?'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් ලබා ගෙන ශ්‍රී ලංකාව කබලෙන් ලිපට ඇද දැමීමට සැරසෙන බවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය ආණ්ඩුවට චෝදනා කරයි.
විශේෂයෙන්ම අදාළ ණය මුදල ලබා දීමේදී IMF ආයතනය විසින් 'පටි තද කර ගැනීමේ' කොන්දේසි ගණනාවක් පනවනු ලැබ ඇති බවයි එම සංවිධානය පවසන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන විසින් පනවනු ලබන කොන්දේසි තුළින් ශ්‍රී ලංකාව වැනි රටවල් සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇති බවට ඉතිහාසයේ සාක්ෂි නැති බවයි, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානයට සම්බන්ධ අධ්‍යාපන පුනර්ජීවන වැඩසටහනේ අමාලි වෙදගෙදර බීබීසී සංදේශයට කියා සිටියේ.
"අප වැනි රටවල් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන දරන ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිම රටක් ඔය කියන ගැලවුමක් සොයා ගෙන නැහැ. ඒක තවත් නරක අතට හැරෙන බවට අත්දැකීම් තිබෙනවා," ඇය සඳහන් කළාය.
ඇය පවසන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක ණය මුදල ලබා දී තිබෙන්නේ කොන්දේසි හයක් යටතේයි.
'කොන්දේසි හයක්'
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මේ ණය මුදල නිකන් ලැබුණු බව තමයි මහජනතාවට පෙන්නන්නේ. නමුත් කොන්දේසි හයක් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණවලට ලක් කරන්න ආණ්ඩුව එකඟ වෙලා තිබෙනවා."
ආණ්ඩුවේ අය වැය හිඟය අවම කිරීම, ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහ ගත කිරීම, විනිමය අනුපාතය සහ ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් ඉහළ දැමීම ඇතුළු කොන්දේසි හයකට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව පවසන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය, එයින් රටට සිදුවිය හැකි හානිය පරාජය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
ඉහත කී කොන්දේසි යටතේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේදී යථාර්ථය ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් අමාලි වෙදගෙදර සඳහන් කළාය.
"ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තිබෙනවා. වක්‍ර බදු තමයි වැඩිපුර තිබෙන්නේ. ආදායම් බදු, ප්‍රාග්ධන ආශ්‍රිත බදු වැනි සෘජු බදුවල ප්‍රමාණය බොහෝ අඩුයි," ඇය සංදේශයට කියා සිටියාය.
'ජනතාව මත බර පැටවීම'
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මත්තල ගුවන් තොටුපල
"අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අපට ලැබෙනවා කියල දැන ගත් වහාම VAT බදු වැඩි වුනා. මහජනතාව මත තමයි ඒ බදු බරත් පැටවෙන්නේ."
ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර ණය ආධාර ලබා ගැනීමෙන් තත්වය උග්‍ර වන බවයි අමාලි වෙදගෙදර පවසන්නේ.
විශාල වශයෙන් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සහ නියමිත ඉලක්ක කරා ළඟා වීමට නොහැකි වූ මත්තල ගුවන් තොටුපල මෙන්ම හම්බන්තොට වරාය වැනි සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුද සඳහා සාමාන්‍ය ජනතාව මත වගකීම පැවරීම කොතරම් සාධාරණ දැයි ප්‍රශ්න කරන සන්ධානය ශ්‍රී ලංකාවේ 'ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
මේ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානය විසින් ලබන අඟහරුවාදා කොළඹදී 'උගුලෙන් එළියටද කබලෙන් ලිපටද?' මැයෙන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ණය ගෙවීම පිණිස IMF වැනි ආයතනවලින් යළිත් ණය ලබාගැනීමට සිදු වී තිබෙන බවයි මේ චෝදනාවලට ප්‍රතිචාර දක්වන ආණ්ඩුව පවසන්නේ.
බඩු වැඩි කිරීම ඇතුළු කරුණු වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපැමක් නොකළ බව මීට ඉහතදී බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, 'ආණ්ඩුව තීන්දු ගනු ලබන්නේ ස්වාධීන රටක් හැටියට' බව වැඩිදුරටත් පැවසීය.