'සිංහලෙන් කියන්න. ප්‍රශ්නේ විසඳලා දෙන්නම්'

Image copyright Kaushalya Fernando/FB
Image caption කථිකාචාරිනී කෞශල්‍යා ප්‍රනාන්දු

යුද්ධය නිමා වීමෙන් පසු සැමියා සමග නැවත උපන් ගම බලා පැමිණි රාධා දිනක් රජයේ කාර්යාලයකට ගියේ රාජකාරි කටයුතු කීපයක් සිදු කර ගැනීමේ අරමුණින්.

එහි සිටි නිලධාරීන්ට ඇය කතා කරන භාෂාව තේරුම් ගැනීමට අපහසු විය.

කාර්යාලය වසා දමන තුරුම එහි බංකුවක් මත වාඩි වී සිටි ඇය ආපසු නිවස බලා පැමිණෙන විට රෑ බෝවී තිබිණි.

මෙපමණ වෙලාවක් ප්‍රමාද වී පැමිණි සිය බිරිඳ ගැන සැක සිතූ සැමියා ඇයට ඉතා තදින් පහර දෙයි.

ඒ පිළිබඳ පැමිණිලි කිරීමට රාධා පොලිසිය වෙත යයි.

'මොකක්ද කාරණාව?' පොලිස් නිලධාරියා ප්‍රශ්න කරයි.

රාධා දෙමළ බසින් පිළිතුරු සපයයි.

'සිංහලෙන් කියන්න, තේරෙන්න කියන්න,' පොලිස් නිලධාරියා පවසයි.

ඇය නැවතත් දෙමළ බසින් පිළිතුරු දෙයි.

'මට තේරෙන්නේ නැහැ ඔයා කියන දේ. මට සිංහලෙන් කියන්න, සිංහලෙන් කිව්වොත් ප්‍රශ්නේ විසඳලා දෙන්න පුළුවන්', තරමක් උස හඬින් පොලිස් නිලධාරියා ඇයට පවසයි.

ඇය දන්නා භාෂාවෙන් නැවතත් යමක් පැවසීමට උත්සාහ දරයි.

'දැන් ඕගොල්ලෝ කියන දේ අපිට තේරෙන්නේ නැහැ. අපි කියන දේ ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කාගෙද වැරැද්ද? සිංහලෙන් කියන්න. ප්‍රශ්නේ විසඳලා දෙන්නම්', පොලිස් නිලධාරියා නැවත නැවතත් කියා සිටියි.

'මේවා කෙරෙන විදියක් තියෙනවා'

රජයේ කන්තෝරුවකට ගොස් සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකිව දිනක් රස්තියාදු වී නොකළ වරදකට සැමියාගෙන් පහර කා වේදනා විඳින රාධාගේ ප්‍රශ්නය තවමත් තිබූ තැනමය.

ඉහත දැක්වෙන්නේ රාජ්‍ය ආයතන තුළ අත්විඳීමට සිදු වන භාෂා ගැටලුව සහ ප්‍රායෝගික නොවන ඇතැම් අසම්මත සම්මුතීන් හේතුවෙන් ජනතාව පීඩාවට පත් කරන ගැටළු තේමා කර ගනිමින් නිර්මාණය වූ කෙටි නාට්‍ය එකතුවක දෙබස් ඛණ්ඩයකි.

රඟ දැක් වුනේ කන්තලේ මාධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී.

ඉහත කී සංවේදී ජනතා ප්‍රතිරාවය රංග කලාව ඔස්සේ ගමෙන් ගමට සන්නිවේදනය කරන්නේ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු.

මෙම කෙටි නාට්‍ය එකතුව ඇයගේ නැසී ගිය මව සෝමලතා සුබසිංහ විසින් පිහිටුවන ලද නාට්‍ය ආයතනය විසින් දියත් කරන ලැබූ ව්‍යාපෘතියකි.

කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩපිළිවලක් වශයෙන්'Focus Women' ආයතනය තමාට මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අවස්ථාව සලසා දුන් බවයි රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට කියා සිටියේ.

නාට්‍යයේ එන කාන්තාවක් සිය ඉඩම් ප්‍රශ්නයක් විසඳා ගැනීමට අදාළ බලධරයන් හමුවට පැමිණෙන අවස්ථාවේ ඇයට අසන්නට ලැබෙන්නේ 'මේවා කෙරෙන විදියක් තියෙනවා' යනුවෙනි.

යුද්ධය සහ පරිහානිය

වසර තිහක් පුරා පැවති යුද්ධය දෙස රජයේ සම්පූර්ණ අවධානය යොමු වී තිබූ බවත් එකී කාලය තුළ සිවිල් ආයතන තුළ ඇති වූ දැඩි පරිහානිය පශ්චාත් යුද සමය දක්වා දිගැදෙමින් තිබෙන බවත් ඇය පෙන්වා දෙයි.

''ඒවා දැන් අප සමාජය තුළ තිබෙන දරුණු ප්‍රශ්න බවට පත් වෙලා. එක පාරටම ගෙවල් දොරවල් නැති වෙලා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා හිතලා බලන්න.''

සමාජය තුළ සම්මතයන් බවට පත් වූ විපරීත සම්මතයන් මුලිනුපුටා දමා රට තුළ යහපාලනයක් ඇති කිරීම පමා වීමට දේශපාලනඥයන්ගේ හැසිරීම බලපා ඇති බව කථිකාචාරිනී කෞශල්‍යා ප්‍රනාන්දු පවසන්නීය.

"මේ දේශපාලනඥයන් හැසිරෙන්නේ ගෝත්‍රික බවෙන් සහ කෑදර කමෙන්. ඔවුන් අපිව රැවටීමට උත්සාහ කරන්නේ."

රටේ සංහිඳියාවක් ඇති වීමට නම් සැබෑ පරාර්ථකාමී ගුණය සහ සංවර්ධනය පදනම් කර ගත් සාධනීය වැඩපිළිවලක් සහ ඒ සඳහා අවංක කැපවීමක් තිබිය යුතු බවත් කථිකාචාරිනී කෞශල්‍යා ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කරන්නීය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්