කොටින්ගෙන් දිවි බේරාගත් පොලිස් නිලධාරියකුගෙන් බැගෑපත් ඉල්ලීමක්
'පෝලිම් කරලා වෙඩි තිබ්බ. මට වෙඩි වැදුනේ නෑ'
මනෝජ් ප්‍රියන්ත සිරිවර්ධන, 1990 දී කොටි කැරලිකරුවන් විසින් 600 කට අධික පොලිස් නිලධාරීන් ඝාතනය කළ අවස්ථාවේ දිවි ගලවාගත් එක් පොලිස් නිලධාරියෙක්.
මිය ගිය ආකාරයෙන් පෙනී සිට හිඳිමින් දිවි ගලවාගෙන දශකයකට පමණ පසුව, 2003 මැයි මාසයේ සිට සිය සේවය අත්හිටුවා තිබෙන බව හිටපු උප පොලිස් සාජන්වරයා පවසයි.
1990 ජුනි 11 වැනි දින කල්මුණේ පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී එල්ටීටීඊ කැරලිකරුවන් තමන් ඇතුළු පිරිස මරාදැමීමට ගෙන ගිය අන්දම ඔහුට තවමත් මතකයි. (සම්පූර්ණ සාකච්ඡාව ඉහත වීඩියෝ පටයේ)
පොලිස් බලධාරීන්ගේ නියෝග ප්‍රකාර ආයුධ බිම තබා යටත්වීමෙන් අනතුරුව තමන් ඇතුළු පොලිස් නිලධාරීන් 123 දෙනකු එදා කොටි කැරලිකරුවන් විසින් බස් තුනක පටවාගෙන කැලයට රැගෙන ගිය බවයි, ඔහු පවසන්නේ.
'මැරිලා වගේ හිටියා'
"හොඳටම අතින් පයින්, වෙපන්වලින් ගහල ඇස් දෙක බැඳලා පෝලිම් කරලා වෙඩි තිබ්බ. මට වෙඩි වැදුනේ නෑ. මගේ නිලධාරීන්ගේ ලේ ඔක්කොම මගේ ඇඟේ," ඔහු විස්තර කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
"ඊට පස්සේ ඇවිල්ල ඔලුව පෑගුව. මම මැරිච්ච විදියට හිටිය."
"ඊට පස්සේ උන් වෙඩි තියල ගියාට පස්සේ මම ඇස් දෙක ලිහාගෙන කැලේට ගිහිල්ල බඩගාලා අත් දෙක ලිහා ගත්තේ ඊට පහුවදා."
ඝාතනයට ලක්වූ සිය සහෝදර පොලිස් නිලධාරීන්ගේ මළ සිරුරුවලට කොටි සාමාජිකයන් පෙට්‍රල් වත්කොට ගිනි තබන ආකාරයත් තමන් සැඟවී බලා සිටි බවයි, හිටපු පොලිස් සාජන් මනෝජ් ප්‍රියන්ත සංදේශයට කියා සිටියේ.
'දේශපාලන පලිගැනීමක්'
ඉන් අනතුරුව අම්පාර රෝහලේ මාසයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඔහු, යළිත් රාජකාරියට වාර්තා කළත් 1999 නොවැම්බරයේදී දී මැතිවරණ වංචාවක යෙදීමට සැරසුණු ඇමතිවරයකුට බාධාකිරීම හේතුවෙන් තැනින් තැනට මාරු කරනු ලැබූ බවත් ඔහු පවසයි.
ඔහු පවසන පරිදි එයට හේතුව දේශපාලන පලිගැනීමක්.
තමන්ට සාධාරණය ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටිමින් පසුගිය ජුනි 11 වැනි දින උපවාසකයද නිරත වූ නමුත් ආණ්ඩුවෙන් හෝ පොලිස් බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුන බවත් මනෝජ් ප්‍රියන්ත පවසයි.
හිටපු උප පොලිස් සාජන්වරයා නගන චෝදනා පිළිබඳව විමසීම පිණිස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පොලිස් බලධාරීන් ඇමතීමට සංදේශය දින කිහිපයක් මුළුල්ලේ දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ඒ දුක්ගැනවිල්ල සංදේශයේ සරෝජ් පතිරණ ජාතික පොලිස් කොමිසම වෙත යොමු කළ අවස්ථාවේ කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේ අභියාචනයක් ඉදිරිපත් කරන මෙන් ඔහුට දැනුම් දුන් බවයි.
පොලිස් කොමිසම
එම අභියාචනය පොලිස් කොමිසම විසින් පත්කරන ලද කමිටුවකට යොමු කරන බව සඳහන් කළ ලේකම්වරයා, කමිටුවේ නිර්දේශ ප්‍රකාර ඔහු යළිත් සේවයේ පිහිටුවීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.
"අපිට දෙන්න පුළුවන් සානුකම්පිත සහනය තමයි එයා ඉදිරිපත් කරන කරුණු සලකල බලල එයාව නැවත සේවයේ පිහිටුවන එක," ආරියදාස කුරේ පැවසීය.
තමන්ට සාධාරණය ඉටු කරන අතරම සිය සහෝදර පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එල් ටී ටී ඊ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් මනෝජ් ප්‍රියන්ත සිරිවර්ධන අවධාරණය කරයි.
"අපිව අරන් ගිහින් මරන්න ගිය කට්ටිය සුපිරි ජීවිතයක් ගතකරනවා. මම කොච්චර දුක් විඳිනවද?," ඔහු පැවසුවේ හැඬුම්බර ස්වරයෙන්.
යටත් වූ පොලිස් නිලධාරීන් පිරිස ඝාතනය කිරීමට අණ දුන් බවට එවකට කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ට චෝදනා එල්ල වී තිබේ.
එහෙත් පොලිස් නිලධාරීන් පිරිස ඝාතනය කිරීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි, පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය පදවියක්ද හෙබැවූ කරුණා අම්මාන් පවසන්නේ.

ධීවරයන් අතුරුදහන් කළ එල්ටීටීඊ නායකයන්ට 'දඬුවම් කරන්න'
සිංහල ධීවරයන් අතුරුදහන් කිරීමට වගකිවයුතු එල්ටීටීඊ නායකයන්ට දඬුවම් දී අතුරුදහන්වූ ධීවරයන් වෙනුවෙන් ප්‍රමාණවත් වන්දියක් ගෙවන මෙන් ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති.