'ජාති ආගම් මුල් කරගත් පක්ෂ තහනම් කරන්න බෑ'

ජාතිකත්ව සහ ආගමික පදනමින් ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

ජනාධිපති නීතිවේදී ප්‍රසන්න ලාල් ද අල්විස් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන ඉවත දමමින් අධිකරණය මෙම නියෝගය කරනු ලැබීය.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දෙමළ ජාතික සන්ධානය, බොදුබල සේනා සංවිධානය ඇතුළු ජාතිකත්ව සහ ආගමික පදනමින් ලියා පදිංචි කොට ඇති පක්ෂ 27 ක් නම් කර තිබුණි.

පෙත්සම්කරු පවසන්නේ ජාතිකත්වය සහ ආගමික පදනමින් ලියාපදිංචි කළ පක්ෂවල ක්‍රියාකාරිත්වය හේතුවෙන් ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල වී තිබෙන බවයි.

මේ හේතුවෙන් අදාළ පක්ෂ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එම ඉල්ලීමට විරෝධය පලකළ වග උත්තරකාර දෙමල ජාතික සන්ධානය සහ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් මේ සහනය ප්‍රදානය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි කියා සිටියේ.

මේ හේතුවෙන් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි වග උත්ත්රක්කාර පාර්ශවය ඉල්ලා සිටියේ.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම්කරු ඉදිරිපත් කළ කරුණු වල සාධාරණ නීතිමය පදනමක් නොමැති නිසා පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර