මේක පෙරහුරුවක්, ඊළඟට එන්නේ අරගෙන යන්න - මහින්ද

Image copyright Facebook

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

මීළඟ ජනසටන පාද යාත්‍රාව අවසන් කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් බවයි ජන සටන පාද යාත්‍රාව අවසන් කරමින් පැවති රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ.

'අපි ඊලග පාර එන්නේ යන්න නෙවෙයි, අරගෙන යන්න, ජනතාව අපි සුදානම් කරනවා, මේක පෙරහුරුවක් විතරයි' ජනතාව අමතමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජනසටන පාද යාත්‍රාව අද අරම්භ වූයේ කිරිබත්ගොඩ නගරයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නායකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

Image copyright Facebook

පාගමන දහවල් දෙක පමණ වන විට කොළඹ නගරය වෙත ලඟා වූ අතර පොලිසිය පාගමනේ අවසන් රැළිය පැවැත්වීමට බොරැල්ල කැම්බල් පිටිය ලබාදී තිබෙන බවට ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දුනන්ත් ඔවුන් තීරණය කළේ රැළිය පුරහල ලිප්ටන් වටරවුමේ පැවැත්වීමටයි.

එහි තාවකාලික වේදිකාවට ගොඩවෙමින් රැස්ව සිටි දහස් සංඛ්‍යාත ආධාරකරුවන් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවටයි.

යුද හමුදා සාමාජිකයන් සහ ස්වාමින්වහන්සේලා දඩයමක රජය යෙදී සිටින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

පාගමන අතරතුර එහි මූලිකත්වය ගෙන කටයුතු කළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බීබීසියට අදහස් දක්වමින් රජයට අභියෝග කර සිටියේ පළාත් පාලන ඡන්දය හැකි ඉක්මනින් පවත්වන ලෙසයි.