'වරාය නගරයට සින්නක්කර ඉඩම් දෙන්නේ නැහැ'

Image copyright Defencelk
Image caption හෙක්ටයාර 20ක භූමි ප්‍රමාණය ඔවුන්ට සින්නක්කරව ලබා නොදී අවුරුදු 99 ක බද්දට ලබාදීමට රජය තීරණය කල බවයි අමාත්‍යවරයා පැවසුවේ

කොළඹ වරාය නගර ගිවිසුම සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව රජය අද නිවේදනය කළේය.

ඒ අනුව චීන සමාගමට සින්නක්කර ඉඩම් ලබාදීම සඳහා තිබූ එකගතාව වෙනස් කර අවුරුදු 99 ක බදු මත ඉඩම් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඊයේ කැබිනට් මණ්ඩලය විශේෂයෙන් රැස්වූයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතිය සඳහා අත්සන් කිරීමට නියමිත නව ගිවිසුම පිළිබඳව සාකච්චා කිරීමටයි.

Image caption කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති.

පසුගිය රජය විසින් 2014 වසරේ සැප්තැම්බර් මාසයේ අත්සන් තැබූ ගිවිසුම වෙනුවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා චීන ව්‍යාපෘති සමාගම අතර ත්‍රීපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බවයි රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.

නව ගිවිසුම යටතේ චීන සමාගමට ලබාදීමට තිබූ හෙක්ටයාර 20ක භූමි ප්‍රමාණය ඔවුන්ට සින්නක්කරව ලබා නොදී අවුරුදු 99 ක බද්දට ලබාදීමට රජය තීරණය කල බවයි අමාත්‍යවරයා පැවසුවේ.

"අපේ විරෝධය තිබුණේ අපේ රටේ භූමිය වෙනත් රටකට අයිති වීම ගැන, ඉන්දියාව පවා මේකට විරෝධය දැක්වුවා, චීනයට අයිති ඉඩමක් ලංකාවේ තිබීම ගැන, අපි සමාගම එකඟ කරගත්තා වසර 99 බද්දට මේ ඉඩම් ලබාදෙන්න" යනුවෙන් පැවසූ අමාත්‍යවරයා පසුගිය ගිවිසුම අනුව භූමියේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුවද රජය නව ගිවිසුම මගින් විසදීමට කටයුතු කර ඇති බවයි පෙන්වාදුන්නේ.

Image copyright Getty Images

"මේ භූමිය ගොඩකරාට පස්සේ රජයට පවර ගෙන ගැසට් කරනවා ලංකාවේ කොලඹ දිස්ත්‍රික්කයට අයිති ඉඩමක් කියල, ඊට පස්සේ මේක ලබාදෙනවා නාගරික සංවර්ධන අධිකාරියට එකෙන් තමයි මේක 99 වසරට බදු දෙන්නේ, මේ ලොකු ප්‍රශ්නයක් අපි විසදගත්තේ කලින් ගිවිසුම අනුව ගියානම් කවදාහරි මේ භුමිය ගැන ලොකු ගැටළු ඇති වෙනවා " යනුවෙන් ඔහු පැවසීය.

මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් සිදුවූ පාඩුව ලෙස කලින් අත්සන් කළ ගිවිසුමට අනුව ගෙවිය යුතු බව පැවසූ ඇමරිකානු ඩොලර් මිලියන 125 ක වන්දි මුදලද ඉල්ලා අස්කිරීමට සමාගම එකඟවූ බවද මෙහිදී ප්‍රකාශ විණි.

කෙසේවෙතත් සමාගමට සිදුවූ පාඩුව පියවීම සදහා 99 අවුරුදු බද්දට විකිණිය හැකි හෙක්ටයාර 2ක අතිරේක ඉඩමක් ව්‍යපෘති සමාගමට ලබාදෙන ලෙස එම සමාගම කල ඉල්ලීමට රජය එකඟවූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

Image copyright Reuters

නව ගිවිසුම යටතේ පාරිසරික කොන්දේසි ගණන 42 සිට 70 දක්වා වැඩිවන බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න පරිසරය ආරක්ෂා වන පරිදි එහි ඉදිකිරිම සිදුවනු ඇති බවයි පැවසුවේ.

මෙම නව ගිවිසුම යටතේ ධිවර ප්‍රජාවගේ අදායමට රුකුල් දීමේ වැඩසටහනක් ලෙස රුපියල් මිලියන 500 ක් යෙදවීමටද ව්‍යපෘති සමාගම එකඟවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ශ්‍රී ලංකාවට වාසි දායක ලෙස ගිවිසුමේ කොන්දේසි වෙනස්කර ගැනීමට හැකිවූ බව පැවසූ අමාත්‍යවරයා සිංගප්පුරුව හා ඩුබායි නගර අතර ඇති මූල්‍ය නගරයක් ලෙස මෙම නගරය ගොඩනැගීම රජයේ බලාපොරොත්තුව බවයි සඳහන් කළේ.

නව ගිවිසුම සැප්තැම්බර් මාසය විට අත්සන් තැබීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

බීබීසී යෙන්