'නව මැතිවරණ ක්‍රමයෙන් නුසුදුස්සන් පත් වීමේ ඉඩකඩ වැඩියි'

මාර්තු 12 ප්‍රකාශනයේ

ඡායාරූප මූලාශ්‍රය, Youtube

ඡායාරූප ශීර්ෂ වැකිය,

මාර්තු 12 ව්‍යාපාරය

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයත් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද දායකයන්ට සිය අභිමතය පරිදි අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේ අවකාශ ඇහිරී යන බැවින් සුදුසුකම් සහිත අවංක ජනතා සේවකයන්ට පමණක් නාම යෝජනා දීම පක්ෂ නායකයන්ගේ වගකීම බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

දේශපාලන පක්ෂය මගින් ඉදිරිපත් කරන්නාවූ අපේක්ෂකයන් කවරෙකු වුවද අදාළ පක්ෂයට ඡන්දය දුන් පසු ජයග්‍රහණය කරන්නාවූ පක්ෂයේ අපේක්ෂකයා තේරී පත් වන බවත් මනාප ක්‍රමයේ දී මෙන් මෙහිදී ඡන්දදායකයාට අපේක්ෂකයකු තෝරා ගැනීමට ඇති අවස්ථාව ඇහිරීයාමෙන් නුසුදුසු පුද්ගලයකු තේරී පත් වීමට විශේෂ ඉඩක් පවතින බවත් රෝහණ හෙට්ටිඅරච්චිගේ අදහසයි .

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සුදුසු පුද්ගලයන්ට පමණක් නාමයෝජනා ලබා දෙන ලෙස දේශපාලන නායකත්වයට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් මාර්තු 12 ප්‍රකාශනයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික පිරිසක් අද (02 වෙනිදා) අස්ගිරි මහ නාහිමියන්, රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමියන් හා මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් බැහැදැක අදාළ ලියවිල්ලේ පිටපතක් බාර දෙනු ලැබූහ.

ඡායාරූප මූලාශ්‍රය, Youtube

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය වසරේ මාර්තු දොළොස් වෙනි දින ආරම්භ කළ මාර්තු 12 ව්‍යාපාරය දූෂණ වංචා වලින් තොර පිරිසිදු දේශපාලනයක් සඳහා කැප වූ සමාජ ව්‍යාපාරයකි.

අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ සුදුසු පුද්ගලයන් නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත් කිරීමට දේශපාලන පක්ෂ අපහොසත් වුවහොත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ නුසුදුසු පුද්ගලයන් පළාත් පාලන ආයතනවලට අනිවාර්යයෙන්ම පත් වන බවයි.

මෙම තත්ත්වය ජනතාවට පාලනය කළ නොහැකි බැවින් ඊට පැහැදිළි ලෙසම දේශපාලන පක්ෂ මැදිහත්විය යුතු බවත් එසේ නොවුණහොත් පළාත් පාලන ආයතන දූෂිත ආයතන බවට පත් වීම වැලැක්විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.

නාමයෝජනා ලබා දීමේ දී සුදුසුකම් ඇති පුද්ගලයන්ට පමණක් අපේක්ෂකත්වය ලබා දෙන ලෙස මාර්තු 12 ව්‍යාපාරය මගින් ඉදිරිපත් කළ යෝජනාවන්ට දේශපාලන පක්ෂ සියල්ල එකඟතාව පල කර මාර්තු 12 ප්‍රකාශනයට අත්සන් කළ බවත් එම නිර්නායක සැලකිල්ලට ගන්නා ලෙස සියලු පක්ෂවලට උපදෙස් ලබා දෙන ලෙස මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් හෙට්ටිආරච්චි පැවසුවේය.

පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ ‍පිරිහීමකට ලක්ව තිබෙන අතර දේශපාලන සංස්කෘතිය වෙනස් නොකර පාලකයන් වෙනස් කිරීම ප්‍රථිපල රහිත බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.