ඔලිම්පික් නායකයාට දෝෂාරෝපණය කළා - ඔලිම්පික් කමිටුව

ඔලිම්පික් නායකයාට දෝෂාරෝපණය කළා - ඔලිම්පික් කමිටුව

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ජනමාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට දෝෂාරෝපණය කළ බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.

කණ්ඩායමේ නායකයා පත්කිරීම පිළිබඳව ඉන්ද්‍රජිත් කුරේ මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි, සභාපතිවරයා පවසන්නේ.

''මම ඔහුට කිව්වා, ඔහු විසින් මාධ්‍ය වෙත සිදු කළ එක ප්‍රකාශයක් වැරදියි, ඒ වගේ ප්‍රකාශ කරලා ආයත් අහු වෙන්න එපා කියලා," හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී. (සාකච්ඡාවට සවන්දෙන්න)

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම සඳුදා කොළඹ පැවති උත්සවය අතරවාරයේදීයි, සභාපතිවරයා කණ්ඩායමේ නායකයාට ප්‍රසිද්ධියේ දොස් පවරා තිබෙන්නේ.

''නමුත් මම ඒ ප්‍රකාශය කළේ තනිවම නොවෙයි. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා, ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වත් ගෙනල්ලා ඔවුන් ඉදිරියේ එම ප්‍රකාශය සිදු කළේ."

කණ්ඩායම් නායකත්වය

බ්‍රසීලයේ රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔලිම්පික් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් තිදෙනෙක් ඇතුළත් වෙති.

දෙවරක් ඔලිම්පික් උළෙල නියෝජනය කළ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ඉන් එක් අයෙකි. තෙවන වරටත් ඔලිම්පික් තරඟයක් නියෝජනය කරන ප්‍රථම ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩකයා ඔහුයි.

සභාපතිවරයා සඳහන් කරණ පරිදි ඔලිම්පික් සුදුසුකම් නොලද ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දීමට සූදානම් වූ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වී තමාට කණ්ඩායමේ නායකත්වය ලබා දුන් බව ඉන්ද්‍රජිත් කුරේ ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

''නමුත් ඇමතිතුමා දන්නෙත් නැහැ කාවද පත් කරන්නේ කියලවත්. මේ නම් තුන යෝජනා වූ අවස්ථාවේ මම තමයි කිව්වේ නෑ මේක අනුරාධට දෙන්න ඕනි කියලා.''

ක්‍රීඩකයකුට අත්තනෝමතික ලෙස මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කළ නොහැකි බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේය.

'නරඹන්නෝ'

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා දෙස බැලීමේදී කලාපයෙන් ඔබ්බට ගිය ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් පිළිබඳ බලාපොරොත්තු තැබීම ප්‍රයෝගික නොවන බවත් ඔහු අවධාරණය කරයි.

''මම කියන්නේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් පනහක් ගන්න බැරි නම් එතනින් එහා ක්‍රීඩා තරඟ ගැන කතා කළ යුතු නැහැ.''

1991 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් හතළිස් හතරක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙවර ලබාගත හැකි වූයේ රන් පදක්කම් විසි හතරක් පමණක් බවයි ඔහු පවසන්නේ.

''ඉතින් ක්‍රීඩාවේ කඩා ගෙන වැටීමක් තියෙන්නේ. අපි බොරුවට සතුටු වෙන්න හදනවා අරකට, මේකට, ඔලිම්පික්වලට යනවා කියලා.'' (සාකච්ඡාවේ හඬ පටයට සවන්දෙන්න)

''තරඟය නරඹන්න රියෝ ගියාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒකනේ මෙච්චර කල් සිද්ධ වුනේ. සුසන්තිකා ගෙනාපු පදක්කම ඇරෙන්න අනිත් අය ගිහින් කරපු දෙයක් නැහැනේ.''

අන්තර්ජාතික වශයෙන් අදාළ කටයුතු සංවිධානය කොට රටේ ජාතික ක්‍රීඩා සංගම්වලට අන්තර්ජාතික සහයෝගය ලබා දීම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ වගකීම වුවත් ක්‍රීඩකයන් පුහුණු කිරීම එහි වගකීමක් නොවන බවත් සභාපතිවරයා පැවසීය.

"වැරැද්ද කාගේද කියලා සොයා ගන්න අවශ්‍යයි. මම නම් දන්නේ නැහැ. මේ අය අපිට ඇඟිල්ල දික් කරන්නේ හරියට අපි පුහුණුකරුවෝ වගේ. අපි පුහුණුකරුවෝ නොවෙයි," ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.

වැඩිදුර තොරතුරු විමසීම පිණිස අනුරාධ කුරේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්