නේවාසිකාගාර සිසුවියන් 'ලිංගික අපයෝජනයට' ලක් වෙලා

නේවාසිකාගාර සිසුවියන් 'ලිංගික අපයෝජනයට' ලක් වෙලා Image copyright Getty Images

මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මානව නිපුණතා වැඩිදියුණු කිරීමේ නේවාසික පාඨමාලාවකට සම්බන්ධව වී සිටි දැරියන් නව දෙනෙකු අතවරයට ලක් වී ඇති බව තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි.

දැරියන් දාහත් දෙනකු අතුරින් වයස අවුරුදු 15 ත් 17 ත් අතර දැරියන් නව දෙනකු අතවරයට පත් වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වූ බවයි පොලිසිය කියා සිටියේ.

මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක නිපුණ දෙහිගම කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

නේවාසික පාඨමාලාව තුළ තමාට සිදු වන අකටයුතුකම් ඉවසා දරා සිටීමට නොහැකි වූ සිසුවියන් සිව් දෙනකු සඳුදා අලුයම එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් හන්තාන ප්‍රදේශයේ කැලෑවක රැඳී සිට අසල්වැසියන්ගේ සහාය ඇතිව පොලිසියට පැමිණිලි කොට තිබේ.

පසුගියවර අපොස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසු සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කර ඔවුන් නැවත විභාගයට සූදානම් කර දීමේ සය මාසික නේවාසික පාඨමාලාවක් සම්බන්ධව පුවත්පත්වල පල වූ දැන්වීමක් ඔස්සේ ළමුන් ඊට ඇතුළත් කොට ඇති බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න සංදේශයට වාර්තා කළේ.

ළමුන්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක පාඨමාලා ගාස්තුවක්ද ගෙවා තිබේ.

'මානසිකත්වය වර්ධනය'

නේවාසික පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට ඔවුන්ගේ දෙමව්පියන් හමුවීමට අවස්ථාව ලබා දී ඇත්තේ මසකට එක් වරක් පමණි.

'දෙමව්පියන්ට දැනුම් නොදී දවස් දෙකක් රාත්‍රියේ මේ ළමයි එලියට එක්කන් ගිහි තියෙනවා. අකටයුතු කම් සඳහා, මගේ දරුවයි තවත් දරුවෙකුයි වාහනයක දා ගෙන ගිහින් තිබෙනවා.' අතවරයට ලක් වූ දැරියකගේ මවක් පැවසුවාය.

සිය දරුවා බැලීමට පැමිණි අවස්ථාවල ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරුණු බවත් ඉහත කී මව වැඩිදුරටත් කියා සිටියාය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් දෙමව්පියෝ පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්