මුත්තූර් සමූහ ඝාතනයට දස වසරයි

Image caption දස වසරක් ගතවී ඇතත් එදා මරා දැමුණු 17 දෙනා වෙනුවෙන් තවමත් යුක්තියක් ඉටු වී නැත.

එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා හමුදාව අතර දරුණු ගැටුම් පැවති වකවානුවේ දී, 2006 වසරේ අගෝස්තු 4 වැනිදා, ත්‍රිකුණාමලය මුත්තූර් ප්‍රදේශයේ දාහත් දෙනකු මරා දැමීමේ ඛේදවාචකයේ දස වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

මේ සිදුවීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසටයි මියගියවුන්ගේ ඥාතීන් එවක් පටන් ඉල්ලා සිටියේ.

දස වසරක් ගතවී ඇතත් එදා මරා දැමුණ 17 දෙනා වෙනුවෙන් තවමත් යුක්තියක් ඉටු වී නැත.

Image caption ආධාර සේවකයන් පෝලිම් ගසා, ඔවුන්ට දණ ගසන මෙන් නියෝග කොට ඉන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් ඔවුන්ට වෙඩි තබා මරා දැමූ බවටයි චෝදනා එල්ල වුයේ

දැඩි ගැටුම් පැවති හෙයින් අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන එම ප්‍රදේශයෙන් ඉවත් වීමට වහා කටයුතු කළ නමුත් 'ඇක්ෂන් ෆේම්' ආයතනය පමණක් එහි රැඳී සිටි අතර කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු සේවකයන් දාහත් දෙනෙකු තම නිවස් බලා යෑමට නොහැකිව කාර්යාලයේ රැඳී සිටින අතරතුරයි එම ඝාතන සිදු කෙරුණේ.

ආධාර සේවකයන් පෝලිම් ගසා, ඔවුන්ට දණ ගසන මෙන් නියෝග කොට ඉන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමා ඇති බවට සහ ශ්‍රී ලංකා ආණ්ඩුව එම ඝාතකයන් රකින බවටයි 'ඇක්ෂන් ෆේම්' ආධාර ආයතනය චෝදනා කළේ.

Image caption මරාදැමුනු 'ඇක්ෂන් ෆේම්' සාමාජිකයන්ගේ ඥාතීන්

සිය සේවකයන් දාහත් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා කළ 'ඇක්ෂන් ෆේම්' ආධාර ආයතනය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියේය.

ඇසින් දුටු සාක්ෂිකරුවන්, රහසිගත ලිපි ලේඛන සහ රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් තමන්ට මේ සාක්ෂි ලැබුණ බවයි ආධාර ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වුණේ.

බීබීසී යෙන්