එකම පවුලේ හත් දෙනෙකුට මරණ දඬුවම්

මිනී මැරීමේ චෝදනාවකට වරදකරුවන් වූ එකම පවුලේ හත් දෙනෙකුට නුවරඑළිය මහ අධිකරණය විසින් අද (05) මරණ දඬුවම නියම කරනු ලැබුණි.

මහ අධිකරණ විනිසුරු ලලිත් ඒකනායක විසින් මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවේ 2004 පෙබරවාරි පළමු වෙනිදා නුවරඑළිය කඳපොල කොන්කොඩියා වත්තේ පදිංචි පෙරියසාමි කලෙමේල් ශන්මුගනාදන් නමැති තිස් තුන් හැවිරිදි තිදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

කොන්කොඩියා වතු යායේ එකම වතු නිවාස පේළියක පදිංචි වී සිට ඝාතනයට ලක් වූ පෙරියසාමි සහ චූදිතයන් අතර විදුලි බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම මිනී මැරුමට හේතු වී තිබේ.

චෝදනා තුනක් යටතේ මෙම පවුලේ සාමාජිකයන් හත් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය.

මරණ දඬුවමට අමතරව මෙම චූදිතයන් හත් දෙනාට රුපියල් තුන්දහස බැගින් දඩයක් නියම කෙරුණු අතර දඩය නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක්ද මහ අධිකරණ විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

මිනී මැරුම් සිද්ධියට අදාළව රාගල පොලිසිය මගින් ගොනු කර තිබූ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ජනිත වික්‍රමනායක පෙනී සිටි අතර වග උත්තර කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ නලීන් තිලකා හේරත් පෙනී සිටියාය.