කෝකිලායි පන්සල ඉවත් කර ගන්නා ලෙස බලපෑම්

මුලතිව් කෝකිලායි සම්බෝධි විහාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කර ගන්නා මෙන් පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් බලපෑම් කරන බව විහාරාධිපති තිස්ස පුර ගුණරතන හිමියෝ පවසති.

කෝකිලායි ප්‍රදේශයේ ජීවත් වෙන සිංහල වැසියන්ගේ සහ ආරක්ෂක අංශවල බෞද්ධ ආගමික කටයුතු ඉටු කෙරෙන සම්බෝධි විහාරස්ථානය ඉවත් කර ගන්නා මෙන් එල්ල කෙරෙන බලපෑම් පිළිබඳව තමන් වහන්සේ පොලිසියට පැමිණිල්ලක් කරන ලද බවයි බීබීසිය කළ විමසීමක් දී විහාරාධිපති තිස්ස පුර ගුණරතන හිමියන් ප්‍රකාශ කළේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මුලතිව් කෝකිලායි සම්බෝධි විහාරය

තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කෝකිලායි සිංහල විදුහලේ ඉගැන්වීම සඳහා වැඩම කිරීමෙන් අනතුරුව සිංහල දෙමළ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය සහ ගෙවතු වගාව ද ඇතුළුව විවිධ අංශ වලින් දැනුම ලබා දීමට සම්බෝධි විහාරය මගින් කටයුතු කළ බවයි.

මේ අතර එවැනි විහාරයක් එම පලාතට අවශ්‍ය නොමැති බවයි උතුරු පළාත් සභාවේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසන්නේ.

කෝකිලායි සිංහල වැසියන් කිතුනුවන් වන හෙයින් එම ස්ථානයට බෞද්ධ විහාරයක් අනවශ්‍ය බව පළාත් සභා මන්ත්‍රීවරයා කියා සිටියි.

දෙපාර්ශවයේ අදහස් ඇතුළත් වාර්තාවට මෙතැනින් සවන් දෙන්න.