සාමය මැද උතුරේ පරිසර කොල්ලයක්

සාමය මැද උතුරේ පරිසර කොල්ලයක්

උතුරේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සැපයුම් කරන සමාගම් ඔවුන්ගේ ලාභය ගැන පමණක් සිතීම නිසා පළාතේ පාරිසරික ගැට‍ළු රැසක් උද්ගත වී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.

එම සමාගම් තමන්ට අයත් ඉඩම්වලින් පස් සහ බොරලු කැපීම හේතුවෙන් ඉඩම්වල විශාල වලවල් සෑදී ඇති බවයි ඔවුන් පවසන්නේ.

දිනකට පස් සහ බොරලු රැගත් ටිපර් රථ 600 - 700 අතර ප්‍රමාණයක් මහා මාර්ගවල ගමන් කිරීම නිසා එම මාර්ග පරිහරණය කරන සාමාන්‍ය වැසියන්ට සහ මග දෙපස ජීවත් වන වැසියන්ට පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

බොරළු සහ පස්වලින් පැන නගින දූවිල්ල හේතුවෙන් සිය දරුවන්ට සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදු වී ඇති බවත් උතුරේ වැසියෝ පවසති.

දරුවන් පාසල වෙත යන විට ඔවුන්ගේ නිල ඇඳුම් දුර්වර්ණ වන බවත් දෙමව්පියෝ කියා සිටිති.

ටිපර් රථ අධික වේගයෙන් මහමග ගමන් කිරීම හේතුවෙන් මාර්ග අනතුරු වැඩි වීමේ අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බොරළු සහ පස්වලට අමතරව මහා මාර්ග දෙපස මෙන්ම තම ඉඩම්වලද පිහිටි වටිනා ගස් නීති විරෝධී අන්දමට කපා ගෙන යන බවටත් උතුරේ වැසියෝ චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් පළාතේ බලධාරීන්ට කොතෙක් පැමිණිලි කළද නීතිය ක්‍රියාත්මක නොවන්නේ අදාළ සමාගම් දේශපාලන බලවතුන්ගේ අනුමැතිය හා විශේෂ අනුග්‍රහය මත එම ක්‍රියාකාරකම්වල නිරත වන බැවින් යැයි උතුරේ වැසියන් කියා සිටිති.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් පළාත් බලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ තමන්ට එම විෂය අයත් නොවන බව පවසමින් ඔවුන් ප්‍රශ්නය මගහැර ගිය බවයි දිනසේන රතුගමගේ සංදේශයට වාර්තා කළේ.