මීරියබැද්ද: 'අපි තාමත් අටයි අටේ කාමරේක'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මීරියබැද්ද: 'අපි තාමත් අටයි අටේ කාමරේ'

කොස්ලන්ද මීරියබැද්දේ නාය යාමට ලක් වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තමන්ට මේ දක්වා අනාථ කඳවුර තුළ දිවි ගෙවීමට සිදු වී ඇති බව නාය යෑමෙන් නිවාස අහිමි වූ ජනතාව පවසති.

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ 2014 වසරේ ඔක්තෝබර් 29 වනදා සිදු වූ නාය යෑමෙන් ලයින් කාමර පේළි හයක ජීවත් වූ පවුල් හැත්තෑ පහකට නිවාස අහිමි විය.

නාය යෑමට හසු වී පුද්ගලයින් 39 දෙනෙකු මරුමුවට පත් වූ අතර පිරිසක් අතුරුදහන් වූහ.

නිවාස අහිමි වූ පවුල් හැත්තෑ පහකට අයත් තුන්සිය අසූ පස් දෙනකු නිවාස ලබා දෙන තුරු පූණාගල ප්‍රදේශයේ පිහිටි අත්හරින ලද තේ කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලක තාවකාලිකව පදිංචි කර වීමට රජය ක්‍රියා කළේය.

මේ වන විට කඳවුරේ වෙසෙන පවුල් හැත්තෑ පහ සඳහා රජයේ වියදමින් මකල්දෙනිය ප්‍රදේශයේ නිවාස ඉදි කර ඇතත් ඔවුන්ට තවමත් කඳවුර තුළම දිවි ගෙවීමට සිදු වී ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්ච් බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

සෞඛ්‍ය සහ සමාජීය ගැටලු

නිවාස ලබා දෙන බව පැවසුවත් එය අවස්ථා කීපයකදීම කල් ගිය බව කඳවුරේ වෙසෙන මොහාන් චන්ද්‍රන් කියා සිටියේය.

පවුලක කොපමණ සාමාජිකයින් සංඛ්‍යාවක් සිටියත් ඔවුන් සියලු දෙනාට අඩි අටයි අට ප්‍රමාණයේ කුඩා කාමරයක් තුළ දිවි ගෙවීමට සිදු වී ඇති බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය සහ සමාජීය ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදු වී ඇති බවත් කඳවුරේ වෙසෙන එම් රාධා පැවසුවාය.

පූණාගල අනාථ කඳවුරේ වෙසෙන ජනතාවගේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ එම ජනතාව සඳහා නිවාස ඉදි කර ඇතත් එම නිවාස සඳහා ජල පහසුකම් නොමැති බවයි.

ජල ගැටලුව විසඳූ වහා හැකි ඉක්මනින් එම ජනතාව ඒවායේ පදිංචි කර වන බව අමාත්‍යවරයා පැවසීය.

නිවාස බෙදා දීම

මේ අතර නිවාස ලබා දීමේදී ඒවායේ අයිතිය සම්බන්ධයෙන් ගැට‍ළු මතු වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි කියා සිටියේය.

''වතු ආර්ථිකයක් නිසා මේ සම්බන්ධයෙන් සියලු කටයුතු කරනු ලැබුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින්. නමුත් වතුවල ඉඩම් වල අයිතිය ලබා දීම පිළිබද ලොකු ගැටළු තිබෙනවා.'' ඔහු පැවසීය.

නිවාස සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා වතු යටිතල පහසුමක් අමාත්‍යවරයා සහ ආපදා කළමනාකරණ අමත්‍යවරයා අතර ඉදිරියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සඳහන් කළේය.

අලුතින් ඉදි කොට ඇති එක් නිවසක් සඳහා රුපියල් දොළොස් ලක්ෂ පනස් දාහකට අධික මුදලක් වැය කොට ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

සබැඳි විෂයයන්