නාමල්ට එරෙහි පරීක්ෂණ අවසන්, බැසිල්ට ඇප

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

රගර් ක්‍රීඩාවේ උන්නතියට යැයි පවසමින් ක්‍රිෂ් නමැති ඉන්දීය සමාගමකින් ලබාගන්නා ලද රුපියල් මිලියන හැත්තෑවක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිසිය විසින් නාමල් රාජපක්ෂ අත් අඩංගුවට ගෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

අදාළ පැමිණිල්ල අද කැඳවු අවස්ථාවේදී පොලිසිය කියා සිටියේ මෙම සිද්ධියට අදාලව තවත් පුද්ගලයන් හතර දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට නියමිත බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල අවසන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද පොලිසිය ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය පරීක්ෂණවල ප්‍රගතිය ඔක්තොම්බර් මස 31 වෙනිදා වාර්තා කරන ලෙසයි පොලිසයට නියම කළේ.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පක්ෂ නායකයා විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂයෙන් ඉවත් කිරීමේ තීරණය හෙලා දකින බවයි.

"ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වූ අවස්ථාවේ කියා සිටියා ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට තමන් විවේචනය කළ හැකි බව. මහින්ද රාජපක්ෂ විසින් උදුරාගත් ප්‍රජාතන්ත්‍රවාදය නැවත පක්ෂයට ලබාදෙන බවත් ඔහු ප්‍රකාශ කළා. එසේ ප්‍රකාශ කර තිබියදී පක්ෂ නායකයා විවේචනය කළ මන්ත්‍රීවරුන්ට එරෙහිව කටයුතු කිරිම අනුමත කරන්න බැහැ." නාමල් රාජපක්ෂ මාධ්‍යට අදහස් පළ කළේය.

බැසිල්ට ඇප

Image copyright AFP

ඇප සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධය පල නොකිරීම හේතුවෙන් පොදු දේපල පනත යටතේ රිමාන්ඩ් භාරයට පත්කර සිටි බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම දෙපාර්තම්නේතුවට අයත් රුපියල් මිලියන තිස් හයකට වැඩි මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගෙන තිබුණි.

පසුව කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයට පත් කළේය.

අදාළ ඇප පෙත්සම අද කදවු අවස්ථාවේදී රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් නොකරන බවයි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.