බැසිල් දිවි නැගුමේ වරදක් කර නැහැ - එස්.බී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බැසිල් දිවි නැගුමේ වරදක් කර නැහැ - එස්.බී

දිවි නැගුම ගණුදෙණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිසිදු වරදක් කර නොමැති බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බීබීසි කොළඹ වාර්තාකරු අසාම් අමීන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාග්ධන මුදලින් රුපියල් මිලියන 36.5ක මුදලක් යොදවා යකඩ පයිප්ප මිලදී ගෙන ඉකුත් ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපතිවරයාගේ රුව සහිත බැනර් ප්‍රදර්ශනයට සහ කොඩි ඔසවා තැබීමට උපයෝගි කරගත් බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව FCIDය චෝදනා ගොණු කොට තිබුණි.

අමාත්‍ය එස්.බී දිසානායක කියා සිටියේ ප්‍රාදේශීය සභා වල පරිහරණයට අවශ්‍ය යකඩ බට මිලදී ගෙන එම ආයතන වලට භාර දීමේ වරදක් තමන් නොදකින අතර එම යකඩ බට තොගය මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් යෙදවීමේදී නීතිය කඩ වීමක් සිදු වී නැති බවයි.

ඒක විශාල වරදක් - රන්ජන් රාමනායක

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාජපක්ෂ කියා සිටියේ ජනතා මුදල් දේශපාලන ප්‍රචාරණයට යොදා ගැනීම විශාල වරදක් වන අතර සිය සහෝදර අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුවට පත් වන බවයි.

ලක්ෂ ගණනක යකඩ බට වංචාවක් සිදු වී ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වැඩි දුරටත් කියා සිටියේ.