දුෂ්කර පාසල් දරුවන්ට වින කටින විභාග වංචාවක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දුෂ්කර පාසල් දරුවන්ට වින කටින විභාග වංචාවක්

අධ්‍යාපන පහසුකම් ඉහළ දිස්ත්‍රික්කවල පදිංචි දරුවන් වෙනත් දුෂ්කර පළාත්වලින් තරඟ විභාග සඳහා ඉදිරිපත් වීම හේතුවෙන් සිය දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති බවට දුෂ්කර ප්‍රදේශවල වෙසෙන දෙමව්පියෝ චෝදනා කරති.

කොළඹ, මහනුවර, කුරුණෑගල, ගාල්ල වැනි නාගරික ප්‍රදේශවල දරුවන් දුෂ්කර පළාත් ලෙස සැලකෙන පුත්තලම, නුවරඑළිය වැනි ප්‍රදේශ වෙත පැමිණ උසස් පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වන බව එම ප්‍රදේශවල දෙමාපියන් පවසති.

ඒ හේතුවෙන් තම දරුවන් දැඩි පීඩාවකට පත් වී සිටින බව මාරවිල තල්විල පදිංචි ශ්‍රියානි දොන්දිනු කියා සිටියාය.

එසේ වංචනික ලෙස විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් වැඩි පිරිසක් ගණිත සහ විද්‍යා විෂය ධාරාවලින් උසස් පෙළ විභාගයට හැදෑරූ සිසුන් බවයි විද්‍යා අචාර්යවරයෙකු වන නොෂාන් පෙරේරා පෙන්වා දෙන්නේ.

'පරීක්ෂණ නැහැ'

වංචනික ලෙස සිදු වන මෙම ක්‍රියාව තම දිස්ත්‍රික්කයේ දරුවන්ට ඍජුවම බලපාන බව ගාමිණී විජේතුංග ආචාර්යවරයා සඳහන් කළේය.

වසර කීපයක පටන් මේ ආකාරයට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණි සිසුන් විභාගයට පෙනී සිට ඇති නමුත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් කීප දෙනෙක් කියා සිටි බවයි ප්‍රසාද් පුර්ණමල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

විද්‍යා විෂය ධාරාව නොමැති නාත්තන්ඩිය ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළ විද්‍යාලයක නම භාවිතා කරමින් වෙනත් ප්‍රදේශවලින් පැමිණි සිසුන් විසි එක් දෙනකු නාත්තන්ඩියෙන් විභාගයට ඉදිරිපත් වන බවත් ඉහත කී සිසුහු කියා සිටියහ.

'දැඩි ක්‍රියාමාර්ග'

මෙම විභාග වංචාව සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් අවධාරණය කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඟහරුවාදා (09) ඉහත කී විද්‍යාලයට ගොස් පරීක්ෂණයක් පැවැත්වූ බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව් එම්.එන්.ජේ පුෂ්පකුමාර කියා සිටියේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නිම වූ වහාම අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව මෙලෙස වංචා සහගත ලෙස විභාගයට ඉදිරිපත් වූ ළමුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

සබැඳි විෂයයන්