ශ්‍රේෂ්ඨාධිකරණය ගුණදාස අමරසේකර පෙත්සම බැහැර කරයි

  • 2016 අගෝස්තු 10
පරීක්ෂණවලට නීතිපති සහාය නැහැ - අධිකරණය

යුධ අපරාධ චෝදනා විමර්ශනය සඳහා විදේශීය විනිසුරන් ගෙන්වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස රජයට නියෝග කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබිණි.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන යුධ අපරාධ විමර්ශන කටයුතු සඳහා විදේශීය විනිසුරන් ගෙන්වීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කොට ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ප්‍රකාශයක් කර ඇති බවයි.

රජය විසින් එම ප්‍රකාශය මෙතෙක් ප්‍රතික්ෂේප කර නොමැති බව ද පෙත්සම්කරු පවසයි.

මෑතකදී සම්මත කරන ලද තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රජයට අදාළ නියෝගය පනවන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය කළ රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේ තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබුණත් අදාළ පනත මෙතෙක් ක්‍රියාත්මක කොට නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධිකරණය පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

මේ අතර පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කොට සිටි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුස්සම්මිල් ඇප මත මුදා හැරිමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර