පොලිස් නිලධාරියා නොපැමිණීමෙන් ලලිත් කූගන් නඩුව කල් යයි

Image caption 2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් සහ කූගන් යාපනයේදී අතුරුදහන් විය

ලලිත් හා කුගන් යන දේශපාලන ක්‍රියාධරයන් දෙදෙනා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයට අදාල පොලිස් නිලධාරියා උසාවියට නොපැමිණීම හේතුවෙන් එම නඩුව දෙසැම්බර් දෙවැනිදාට කල් දමන ලදී.

අද (12) මෙම නඩු විභාගය කැඳවන ලද්දේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.

2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් සහ කූගන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් යාපනයේදී උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට ගිය අවස්ථාවකදීයි.

ලලිත්ගේ පියා වන ආරුමුගම් විජයරාසා පවසන්නේ තම පුතත්, කුගන් නැමැත්තාත් යාපනයේදී පැහැරගෙන ගිය බවට සාක්කි ලැබී ඇති බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල

තවමත් ඔවුන් දෙදෙනා ජීවතුන් අතර සිටින බව විශ්වාස කරන්නේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹදී කළ ප්‍රකාශය මත යැයිද ලලිත් ගේ පියා කියා සිටියේය.

හිටපු අමාත්‍යවරයෙකු හා හිටපු කැබිනට් ප්‍රකාශකවරයා වූ කෙහෙලිය රඹුක්වැල්ල ලලිත් හා කුගන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ වග උත්තරකරුවෙකු වූයේ ද ඔහු කළ ප්‍රකාශයක් මතයි.

එහි පසුබිම ගැන දැන ගැනීමට ලලිත් හා කුගන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් බෝපගේ ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ලලිත් හා කුගන් අතුරුදහන් වී දින හයකට පසුව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් ඔවුන් දෙදෙනා සිටින බවට ප්‍රකාශයක් කරන ලද බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාගැනීම පිණිස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් විනිසුරුවරයා අවස්ථා දෙකකදී ම නියෝග කළත් ඔහු අධිකරණයට නොපැමිණීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කළ වගද නීතිඥවරයා යළි සිහිපත් කළේය.

නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව නඩු වාර දෙකකදීම ඔහු සාක්කි දෙමින් කියා සිටියේ එවකට සිටි ආරක්ෂක ප්‍රධානීන්ට හා වෙනත් වගකිව යුතු නිලධාරීන්ට ලැබී තිබුණු තොරතුරු මත තමන් එම ප්‍රකාශය කළ බවයි.

එවැනි ප්‍රකාශයක් කිරීමෙන් පසුව ලලිත් හා කුගන් යන දෙදෙනාට සිදු වූ දේ පිළිබදව තමන් කිසිවක් නොදන්නා බවද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඔහුගෙන් සාක්කි සටහන් කර ගැනීම දැනට අවසන් වී තිබේ.