පරිපූරක ඡන්ද ලේඛනයක් සුදුසුයි - මැ.කො

  • 2016 අගෝස්තු 13
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය Image copyright Getty Images
Image caption මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාව වන විට වයස අවුරුදු දහඅට සම්පූර්ණ වී ඇතත් බොහෝ තරුණ තරුණියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම පිණිස ඇති අයිතිය අහිමි වී යන බවට තරුණ සංවිධාන කරන ප්‍රකාශය යුක්ති සහගත බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

මේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ තරුණ සංවිධාන කරන ප්‍රකාශනයේ සත්‍යතාවයක් ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ බීබීසී සංදේශය වෙනුවෙන් දිනසේන රතුගමගේ කළ විමසීමකදී.

වාර්ෂිකව ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිසංශෝධනය කිරීම සිදු වුවත් බොහෝ පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වන්නේ අවුරුදු දහනවයද ඉක්ම යාමෙන් පසුව බව පෙන්වා දෙන මැතිවරණ කොමසාරිස්වරයා එය එසේ සිදු වීමට හේතු ඇති බවත් සඳහන් කළේය.

'උදාහරණයක් වශයෙන් අද ඡන්දයක් කැඳවුවොත් දැනට වලංගු ඡන්ද හිමි නාමලේඛනයේ ඉන්නේ 2015 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි අයයි. ඒ කියන්නේ 1987 මැයි 31 වනදා හෝ ඊට කලින් ඉපදුන අයට විතරයි ඡන්ද බලය හිමි වෙන්නේ. ඔක්තෝබර් මාසයේ ඡන්ද විමසීමක් තිබ්බොත් හම්බ වෙන්නේ අවුරුදු දහනවයකුත් මාස හතරක් පමණ ගිහින්.' ඔහු පැවසීය.

Image copyright Getty Images

උතුරු සහ නැගෙනහිර ඇතුළු පළාත් ගණනාවක තරුණ සංවිධාන සහ ඇතැම් දේශපාලන පක්ෂවල තරුණ සංගම් පෙන්වා දෙන්නේ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ නිසි වයස සම්පූර්ණ වී ඇතත් තරුණ තරුණියන් තිස් පන්දහසකට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී යන බවයි.

එම සංවිධාන විසින් ඒ පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමසාරිස්වරයාටද ලිඛිතව දන්වා ඇත.

මෙම තත්වය මඟ හැරවීමට නම් එවැනි වයස්වල පසු වන තරුණ තරුණියන් වෙනුවෙන් පරිපූරක ඡන්ද නාමලේඛනයක් සකස් කිරීම හා දැනට ඇති පනත්වල සංශෝධනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

එය එතරම් අපහසු කරුණක් නොවන බව කියා සිටි මැතිවරණ කොමසාරිස්වරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල එකඟතාව පමණක් ඊට අවශ්‍ය බව සඳහන් කළේය.

තමා එම යෝජනාව දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කොට ඇති බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්