'සසුන පාලනයට මහ නාහිමිවරුන්ට බලතල  නැහැ'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'සසුන පාලනයට මහ නාහිමිවරුන්ට බලතල නැහැ'

  • 2016 අගෝස්තු 15

ඉකුත් වසරක් වැනි කාලයක් ඇතුළත බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අසූ එක් නමක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්නම් ඉන් පෙන්නුම් කෙරෙන්නේ ඉතාම කණගාටුදායක තත්වයක් බව එංගලන්තයේ 'බාර්ත් ස්පා' සරසවියේ ආගමික සහ මානව සමාජ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියෝ පවසති.

උන්වහන්සේ එම ප්‍රකාශය කළේ අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් බීබීසී සංදේශය විසින් සිදු කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති විජේදාස රාජපක්ෂ කියා සිටියේ 2015 ජනවාරි මාසයේ පටන් මේ වන විට බෞද්ධ භික්ෂූන් අසූ එක් නමක් බන්ධානාගාර ගත කරනු ලැබ ඇති බවයි.

ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු අනුව අදාළ කාල සීමාව ඇතුළත එක් සතියකට එක් භික්ෂුවක් හෝ දෙනමක් වන බැගින් බන්ධනාගාර ගත වී ඇති බවයි ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් පෙන්වා දෙන්නේ.

එමගින් පෙන්නුම් කෙරෙන්නේ අද භික්‍ෂූ සංස්ථාව තුළ පවතින සංකීර්ණත්වය යයි ප්‍රකාශ කළ උන්වහන්සේ 'දේශපාලනයට සම්බන්ධ වීම විවිධ චෝදනා වලට සැකකරුවන් යයි සලකනු ලැබීම' එවැනි අත්අඩංගුවට ගැනීම් වලට හේතු වෙන බවයි පවසන්නේ.

කවර කරුණක් මත හෝ එතරම් සංඛ්‍යාවක් භික්ෂූන් බන්ධනාගාර ගත වීම කනගාටුවට කරුණක් බවයි ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.

භික්ෂූන් වහන්සේ එවැනි තත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා භික්ෂූ මූලස්ථාන වලට සහ බෞද්ධ සංවිධාන වලට නොහැකි කුමක් නිසාදැයි බීබීසිය ප්‍රශ්න කළ විට උන්වහන්සේ සඳහන් කළේ 'එම තත්වය සම්බන්ධයෙන් එම ආයතනවලට ගත හැකි සාධනීය පියවරක් නොමැති' බවයි.

'සියළු නිකායවල මහානායක හිමිවරුන් මේ තත්වය සම්බන්ධයෙන් කම්පාවට පත්ව සිටිනවා. අනිකුත් ප්‍රධාන භික්ෂූන් මේ තත්වය ගැන කම්පා වෙනවා. එම තත්වය වැරදි බව පෙනී ගියත් නීත්‍යානුකූල තත්වයක් නොමැති නිසා ඒවාට පිළියම් යෙදීමට මහනාහිමිවරුන්ට නොහැකිව තිබෙනවා' ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියෝ පවසති.

භික්‍ෂූ සංස්ථාව තුළ අද පවතින නායක පදවි වැරදි කරන භික්‍ෂූන් පාලනය කිරීම අතින් බලරහිත බවයි ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් පෙන්වා දෙන්නේ.

ආචාර්ය දීගල්ලේ මහින්ද හිමියන් සමඟ බීබීසී සංදේශය පැවැත්වූ සාකච්ඡාවට මෙම පිටුවෙන් සවන් දෙන්න.

සබැඳි විෂයයන්