වකුගඩු ජාවාරම: සැකකරුවන්ගේ 'සෞඛ්‍ය තත්වය දුර්වලයි'

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවූ බව කියන නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රඳවා සිටින ඉන්දීය ජාතිකයින්ගේ සෞඛ්‍ය තත්වය අයහපත් අතට හැරෙමින් පවතින බව ඔවුන්ගේ නීතිවේදීහු අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූහ.

අදාළ පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී රැඳවුම් භාරයේ සිටින චෝදනා ලද ඉන්දීය ජාතිකයින් හත්දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

විත්තියේ නීතිවේදී අජන්ත ලක්මාල් කියා සිටියේ මෙම සැකකරුවන් අතුරින් හය දෙනෙකුගේ වකුගඩු ඉවත් කර ඇති බවයි.

රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී මෙම සැක කරුවන්ගේ සෞඛ්‍ය තත්වයට ගැළපෙන ආහාර සහ පානිය ජල පහසුකම් ලබා ගත නොහැකි බැවින් ඔවුන් මිරිහානේ පිහිටි විශේෂ කදවුර වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් නීතිවේදීන් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඉල්ලීම මීළඟ නඩු දිනයේ දී සලකා බලන බව ප්‍රකාශ කළ අධිකරණය සැකකරුවන් ලබන 30 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කළේ.

පොලිසිය කියා සිටියේ මෙම නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.