සංවිධායක කම අහිමි වීම සුන්දර දෙයක් -කෙහෙළිය

Image caption මගේ දේශපාලන ජීවිතේ ලබා ගන්න පුළුවන් ලොකුම වටිනාකම තමයි ලබා දුන්නේ -කෙහෙළිය

ශ්‍රීලනිප ආසන සංවිධායක කම අහිමි කිරීම තුළින් තමන්ට දේශපාලන ජීවිතයේ ලැබුණු 'ලොකුම වටිනාකම' ලැබුණු බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

'මේක ඉතාමත්ම සුන්දර දෙයක්, සරලව කියනවනම්. අද මේක නැති කිරීමෙන් පෞද්ගලිකව මගේ දේශපාලන ජීවිතේ ලබා ගන්න පුළුවන් ලොකුම වටිනාකම තමයි ලබා දුන්නේ. අපිට චකිතයක් තිබුන. අපිට ඒ චකිතය නැතිව ගියා.'

'යහපාලනය කියල බෝඩ් ලෑල්ලක් ගහල බණ්ඩාරනායක මහත්තය දරපු ප්‍රතිපත්ති කුඩු පට්ටම් කරමින් පහත් දේශපාලන ගමනක් යන මේ මොහොතේ අපේ මතය කෙලින් ඉදිරිපත් කරමින් පනස් හත් ලක්‍ෂයක් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් ලැබුන කියලයි මම හිතන්නේ.' කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පැවසීය.

නව පක්ෂයක්

නව පක්ෂයක් පිහිටුවන්නේ දැයි බීබීසීයේ තිසර රතුවිතාන විමසූ විට ඔහු අවධාරණය කර සිටියේ රට තුළ තුන් වන බලවේගයක අවශ්‍යතාව මතු වී ඇති බවයි.

සම්පූර්ණ සාකච්ඡාවට මෙතැනින් සවන් දෙන්න.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිනොගන්නා තත්වයක දී එහි ආසන සංවිධායක ධුරයක් අපේක්ෂා කළ හැකිදැයි විමසූ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ එවැනි තත්වයක් ඇති වීමට සාධාරණ හේතු පවතින බවයි.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා පරාජය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගන්නවා කියන එක මොන විහිලුවක්ද?' කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පෙරළා ප්‍රශ්න කළේය.

නව පක්ෂයක අවශ්‍යතාව ජනතාව මතු කරන බව ද රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා අවධාරණය කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර