සුනිල් පෙරේරා යහපාලනය ගැන කතා කරයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සුනිල් පෙරේරා යහපාලනය ගැන කතා කරයි

වත්මන් ආණ්ඩුවේ කටයුතු ගැන පැහැදීමක් නොමති වුවත් එමගින් අදහස් වන්නේ හිටපු ආණ්ඩුව හොඳ එකක් යන්න නොවන බව ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා පවසයි.

යහපාලන රජය බලයට ගෙන ඒමට කැපවී කටයුතු කළ සිවිල් සමාජ කණ්ඩායමක් වන පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා යහපාලන රජයේ වසරක කටයුතු ගැන බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග කළ සාකච්ඡාවක් මේ.

"මේ ආණ්ඩුව කරන හැම දෙයක්ම ගැන අපිට පැහැදීමක් නැහැ, පැහැදීමක් නැහැ කියන්නේ, ඉස්සෙල්ල හිටපු අය හරියි කියන එක නෙවෙයි, ඉස්සෙල්ලා හිටපු අය ගැන කතා කරන්න බැහැ, අංජබජල්, එවැනි උදවියට කිසිදාක එන්න දෙන්න හොඳ නැහැ බලයට" සුනිල් පෙරේරා පැවසීය

වත්මන් ආණ්ඩුවේ ද දූෂිතයන් සිටින බව පෙන්වා දෙන ගායක සුනිල් පෙරේරා මෙම දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩුව පවත්වා ගෙන යාමට දූෂිතයන් ආරක්ෂා කරන ආකරයක් පෙනෙන්නට තිබෙන බවයි පැවසුවේ.

"කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ, ගත්ත ගමන් මුන් පනිනවා අනිත් පැත්තට, ඕන කෙනෙක්ව සල්ලිවලට ගන්න පුළුවන්, විසිපස් දෙනෙක් ගත්තොත් ආණ්ඩුව වැටෙනවා, මුලින්ම මේ පැත්තෙන් පැත්තට පනින එක නවත්වන්න ඕන"

පසුගිය ආණ්ඩුව සමයේ ආණ්ඩුව විවේචනය කිරීමට කිසිදු අවස්ථාවක් නොතිබුනත් දැන් ලැබී ඇති නිදහස ගැන තමන් සතුටු වන බවයි ගායක සුනිල් පෙරේරා කියා සිටියේ.

"බය නැතුව කතාකරන්න ප්‍රශ්න කරන්න අද අපිට පුළුවන්, අපි ඒ වෙනස ගැන සතුටු වෙනවා, ඒත් ආණ්ඩුවේ කටයුතු ගැන ලැජ්ජාවක් තියෙන්නේ, නමුත් පුරවැසි බලයෙන් කියන්නේ අපි මේක උත්සහ කරමු, ප්‍රශ්න කර කර ඉදිරියට යමු කියලා" සුනිල් පෙරේරා සිය සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වීය.

මෙම ආණ්ඩුවටත් රට හරි මාර්ගයට ගෙන ඒමට නොහැකි වුවොත් පසුගිය රජය මෙන්ම වත්මන් ආණ්ඩු අත්හැර ජනතාව තුන්වැනි පාර්ශවයකට රටේ පාලන බලය පැවරිය යුතුව ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.