කෝටි සීයේ ගොඩනැගිල්ල ගැන දුමින්ද කතා කරයි

  • 2016 අගෝස්තු 18
Image caption 'ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් රුපියලක් වත් ඊට යොදවා නැහැ'

කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් කුලියට ගෙන ඇති ගොඩනැගිල්ලේ වර්ග අඩියක වටිනාකම සෙත්සිරිපායේ හෝ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වර්ග අඩියක වටිනා කමට වඩා අඩු බව දුමින්ද දිසානායක ඇමතිවරයා පවසයි.

එම ස්ථාන දෙකින් ම වර්ග ආදී අනූ දාහක ඉඩ ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වූ බැවින් මත භේදයට තුඩු දී ඇති මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමට සිදු වූ බවයි ඔහු පවසන්නේ.

පස් වසරක ඇවෑමෙන් මෙම ගොඩනැගිල්ලේ කුලිය සඳහා පමණක් රුපියල් කෝටි එකසිය තිහකට අධික මුදලක් වැය වන බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙවැනි මුදල් කන්දරාවක් රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහා වැය නොකොට ගොඩනැගිල්ලක් වෙනුවෙන් වැය කිරීම සාධාරණ දැයි බීබීසීයේ තිසර රතුවිතාන විමසූ විට ඇමතිවරයා කියා සිටියේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති මුදලින් 'රුපියලක් වත්' ඊට යොදවා නැති බවයි.

සම්පූර්ණ සාකච්ඡාවට මෙතැනින් සවන් දෙන්න.

ගොඩනැගිල්ලේ අලුත්වැඩියාවන් සඳහා තවත් රුපියල් මිලියන හාරසිය විස්සක් රජයෙන් වෙන් කර ගෙන තිබීම පිළිබඳව බීබීසීය විමසූ විට ඇමතිවරයා කියා සිටියේ එම මුදල වැය වන්නේ අලුත්වැඩියාවන් සඳහා නොවන බව.

'ගොඩනැගිල්ලේ කාමර වෙන් කරන්න තියනවා. කාපට් දාන්න තියනවා. බිම සකසන්න තියෙනවා. විදුලිය ගන්න තිබෙනවා. අපි ගොඩනැගිල්ලකට යන කොට තියෙන්නේ බිත්ති හතර විතරයි. අපි සෙත්සිරිපායට ගියත් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් කාමර වෙන් කරන්න ඕනෙ.'

'අපි සෙත්සිරිපායට ගියත් එකයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගියත් එකයි. අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා මේ මුදල යනවා' අමාත්‍ය දුමින්ද දිසානායක පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූයේ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව මත මිස තමන්ට අවශ්‍ය වූ නිසා නොවන බව ඇමතිවරයා අවධාරණය කළේය.

'මට නෙමෙයි යන්න ඕන කම තියෙන්නේ. පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවට දැන් මට තමයි චෝදනාව ඇවිල්ල තියෙන්නේ.' කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.

සම්පූර්ණ සාකච්ඡාවට මෙතැනින් සවන් දෙන්න.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර